'කේපීව මැලේසියාවේ සිට කුදලාගෙන ආවේ ඇයි?'

Image copyright Interpol India

නීතිපතිවරයාගේ වත්මන් ක්‍රියාකලාපය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා කඩිනමින් ජනාධිපති කොමිසමක් පත් කරන මෙන් සිවිල් සංවිධාන ක්‍රියාධරයෝ ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

පාවෙන අවි ගබඩාව සහ කේ පී හෙවත් කුමරන් පද්මනාදන් පිළිබඳව පැවති විමර්ශන ගැන නීතිපතිවරයා ලබා දී තිබුණු තීරණ කෙරෙහි සිය අසතුට පළ කරන පුරවැසි බලය සහ පුරවැසි එකමුතුව පවසන්නේ මෙය බරපතළ ප්‍රශ්න රාශියක් ඇති කරන තත්වයක් බවයි.

Image copyright bbc
Image caption පුරවැසි පෙරමුණේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය

‘කේපී අත්අඩංගුවට ගන්නේ හමුදාවයි බුද්ධි අංශයි එකතු වෙලා. ඇයි එහෙනම් කේපී ව මැලේසියාවේ සිට කුදලාගෙන ආවේ. ඊට පස්සේ කැබිනට් ප්‍රකාශකයා කිව්වේ මොකක්ද? එල්ටීටීඊ එකේ ජාත්‍යන්තර නායකයා අපි ඇල්ලුවා. එයාට විරුද්ධව චෝදනා රාශියක් තියෙනවා කිව්වා. හමුදා ප්‍රකාශකයාත් කිව්වේ ඒක. රජීව් ගාන්ධි ඝාතනයටත් මොහු විත්ති කරුවෙක්. ඉතින් කොහොමද මොහුට විරුද්ධව චෝදනා නැති වෙන්නේ. අපිට හිතා ගන්නත් බැහැ.’ පුරවැසි පෙරමුණේ සමන් රත්නප්‍රිය පවසයි.

මොහුට එරෙහිව සාක්ෂි ගොනු කර ගැනීම රහස් පොලිසිය සහ බුද්ධි අංශ සතු කාර්ය භාරයක් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් අවන්ට් ගාඩ් සමාගම පිහිටුවීම මගින් අහිමි වී තිබෙන බවටද පුරවැසි පෙරමුණ සහ පුරවැසි එකමුතුව චෝදනා කරයි.

‘කලින් මේ කාර්ය භාරය කර ගෙන ගියේ නාවික හමුදාව විසින්. නමුත් අවන්ට් ගාර්ඩ් සහ රක්නා ලංකා ඒකාබද්ධ කරලා ඒ ව්‍යාපාරයට මෙය පවරලා ඒ ආදායම අහිමි කළා. දිනකට ආදායම මිලියන පහළොවක් විතර වෙනවා. රක්නා ලංකා අයිති කරුවන් කවුද? රාජ්‍යයට ලැබෙන ආදායමක් පිට ව්‍යාපාරයකට පැවරීම බරපතල වරදක් ලෙස අපි දකිනවා.’ පුරවැසි පෙරමුණේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර