'සිරකරු නිදහස කඩවුණු පොරොන්දුවක්'

Image copyright bbc

යුධ සමයේදී අතුරුදහන් වුවන්ගේ ඥාතීන් යාපනයේ දී උද්ඝෝෂණයක් පවත්වමින් කියා සිටියේ ජනාධිපතිවරයා පොරොන්දු වූ දේශපාලන සිරකරුවන්ට නිදහස ලබාදීම හෝ අතුරුදහන් වූවන් පිළිබඳව සවිස්තර වාර්තා තවමත් ලබා දී නැති බවයි.

අතුරුදහන් වුවන් ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති සුන්දරම් මහේන්ද්‍රන් බීබීසියේ දිනසේන රතුගමගේට ප්‍රකාශ කළේ ජනපති මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරණ සමයේ මන්නාරම රදගුරු රායප්පු ජෝශප් හමු වූ අවස්ථාවේදී වසර දෙකක කාලයක් තුල සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කරන බව ප්‍රකාශ කළ නමුත් මේ තාක් එම ක්‍රියාදාමය ආරම්භ වී නැති බවයි.

Image caption පොරොන්දු කඩවූ බව කියන උද්ඝෝෂකයින්

අතුරුදහන්වූවන් සහ රැඳවුම් භාරයේ සිටින පිරිස් පිළබඳව ප්‍රමාණවත් තොරතුරු නොලැබීම පිළිබඳව යාපනයේදී රැස් වූ උද්ඝෝෂකයින් තම විරෝධය පල කළ බව දිනසේන රතුගමගේ පැවසීය.

අත්අඩංගුවේ සිටින දේශපාලන සිරකරුවන් හට නඩු පැවරීමට තරම් හේතු ඇත්නම් නොපමාව නඩු පවරන ලෙසත්, එසේ නැතිනම් ඔවුන්ව නිදහස් කරන ලෙස ඉල්ලා යාපනයේ දිසාපතිවරයා වෙත උද්ඝෝෂකයින් පෙත්සමක් භාරදුන් බවත් දිසාපතිවරයා එම පෙත්සම ජනාධිපතිවරයා වෙත යැවීමට පොරොන්දු වූ බවත් සුන්දරම් මහේන්ද්‍රන් පැවසීය.