උප්පැන්න සහතික නැති, පාසල් නොයන දරුවෝ

Image caption 'මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ'

"අව්‍යාජත්වයේ හා සුන්දරත්වයේ විශ්වමය සංකේතය ඔහුය ..."

"විශ්වයේ ශ්‍රේෂ්ඨතම නිර්මාණය ඔහුය ..."

මේ සියළු සාහිත්‍යමය වැකි වලින් නිර්වචනය කෙරෙනුයේ 'ළමයාය'.

1989 නොවැම්බර මස 20 වැනි දින එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් අනුමත කරන ලද ළමා අයිතිවාසිකම් පිළිබඳ ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු දහ අටට අඩු සියළු අය දරුවන්.

එහෙත් පොළොන්නරුව වැලිකන්ද සෙවණපිටිය ගම්මානයට ගියහොත් ඉලුක් යායකට මැදිව ළමා අයිතිවාසිකම් කිසිවක් නොදැන අනාරක්ෂිතව දිවිගෙවන දරුවන් විසි දෙනෙකු පමණ දැකගන්නට පිළිවන.

සෙවණ පිටිය දුම්රිය ස්ථානයට පිටුපස උස්ව වැඩුන ඉලුක් යායකට මැදිව වෙසෙන මේ දරුවන්ගේ මව්පියන්ද ඉතා අඩු වයස්වල අය වෙති.

වාසගමක් නෑ

දහනව (19 ) හැවිරිදි කුමාරි (ඇයගේ සැබෑ නම නොවේ) සිය දෙහැවිරිදි දියණිය සේම තුන් හැවිරීදි නැගණියද බලාගන්නියක්.

''අපිට ඉන්න හරියට තැනක් නෑ මෙතන පොඩි ළමයිම විස්සක් විතර ඉන්නව. ඒ උනාට මෙයාල ඉස්කෝලෙ යන්නෙ නෑ. මෙයාලට උප්පැන්න සහතික මොකුත් නෑ," ඇය පවසන්නීය.

Image caption වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කෙරේ

"ග්‍රාමසේවක මහත්තයට කිව්වම කියනව ප්‍රාදේශීය ලේකම් එකට යන්න කියල එතෙන්ට ගියාම අපිව ගණන් ගන්නෙ නෑ.''

වාසගමක් නොමැති මෙම දරුවන්ගේ නම ඉදිරියට දරුවාගේ පියාගේ නම භාවිත කරන බවත් කුමාරි අප සමඟ කියා සිටියාය.

උදාහරණයක් ලෙස පියසේන (සැබෑ නම නොවේ) නමැති විසි හැවිරිදි වූ තරුණයාට දාව උපන් දරුවාට ඔවුන් ''පියසේන ගේ ... '' ලෙස නම්කරන බව ඇය පෙන්වා දුන්නාය.

ආරක්ෂිත වටපිටාවක් හෝ නිවසක් නොමැතිව මේ ඉලුක් යාය තුළ හිසට වහලක් ලෙස ඔවුහු තාවකාලික කූඩාරම් අටවාගෙන සිටිති.

'ඉස්කෝලේ යවන්නේ නෑ'

කුලී වැඩ සඳහා මව්පියන් පිට වී ගිය පසු මේ දරුවන් එම කාණඩය තුළ සිටින වැඩිමහලුම දරුවන් වූ අවුරුදු දහයත් නමයත් අතර ගැහැණු ළමුන්ගේ භාරයේ පසුවේ.

දහවල් කාලය තුළ මේ දරුවන් සියල්ලෝම පසෙකින් ගලායන මහවැලි ගඟේ අන්තරායකාරී බව නොතකාම ගඟේ පිනායමින් ක්‍රීඩාවේ යෙදෙන අයුරු ද මට දැකගන්නට ලැබිණ.

අට හැවිරිදි ''උපුල් ගේ පියුමි" (සැබෑ නම නොවේ) මා සමඟ කියා සිටියේ ඇයට පාසල් යාමට වුවමනා බවයි.

"මම ආසයි ඉස්කොලෙ යන්න. මට සිංදු කියන්නත් පුළුවන්. ඒ උනාට අම්මල අපිව ඉස්කෝලෙ යවන්නෙ නෑ සෙවණපිටියෙ ඉස්කෝලෙ තියෙන්නෙ ළඟ.''

සිරිමතී වයස දහසයක් වූ සුන්දර යුවතියක්. ඇයටද පාසල ගමනක් නැහැ.

"මම අම්ම එක්ක ගෙවල් වලට ගිහින් වැඩ කරල සල්ලි හොයනව. අපි ගොඩාක් දුර පළාත් වලට යනව. දවස් දෙකේ තුනේ අපි ඈත පළාත් වල ගිහින් එනව," ඇය මා සමඟ කියා සිටියාය.

"ඡන්දේ දවස්වල ඡන්දේ ඉල්ලන එක්කෙනෙක් ඇවිල්ල අපිට ඉඩම් දෙනව කියල ලොරියක පටවගෙන බොරවැව කැලේකට ගෙනිච්ච. අපිට එහෙ ඉන්න බෑ අලි ගහනව ආයෙම අපි මෙතනට ආවා.''

ළමයින් උදෙසා නිකුත් කෙරුනු ප්‍රඥප්තියක් සහ ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳව විමසිලිමත් බොහෝ ආයතන තිබුණද මේ දරුවන් ඒ කිසිවෙකුගේ ඇස ගැටී නැති බවයි පෙනී යන්නේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර