ව්‍යවස්ථා සභාවට බාලගිරි දෝෂයද?

ව්‍යවස්ථා සභාව නිල වශයෙන් ස්ථාපිත කිරීම හිතාමතාම පමා කිරීම සඳහා යහපාලන ආණ්ඩුව ප්‍රයත්නයක යෙදී සිටින බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා කරයි.

පොලිසිය ඇතුළු ඇතැම් ආයතනවල ඉහල තනතුරු සඳහා තමන්ට අවශ්‍ය පිරිස පත් කර ගැනීමට අවශ්‍ය කාලය ලබා ගැනීම සඳහා එය පමා කරන බවට සාධාරණ සැකයක් මතු වන බවයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක කියා සිටියේ.

'සාධාරණ සැකයක්'

Image copyright News.lk

‘පොලිසියේ තමන්ට අවශ්‍ය පිරිසට උසස්වීම් සහ මාරු වීම් ලබා දීමෙන් පසුව, රාජ්‍ය සේවයේ තමන්ට අවශ්‍ය බඳවා ගැනීම් සහ මාරු කිරීම් සිදු කිරීමෙන් පසුව ව්‍යවස්ථා සභාව පිහිටුවා ගැනීමට දරන උත්සාහයක් ද කියල සාධාරණ සැකයක් ඇති වෙනවා.’ ඔහු පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජවිපෙ නායකයා මේ බව කියා සිටියේ බීබීසීය සමඟ විශේෂ සාකච්ඡාවකට එක් වෙමින්.

නව රජයට පැවරී ඇති වැදගත්ම සහ ප්‍රමුඛතම කාර්යය ව්‍යවස්ථා සභාව පිහිටුවීම වුවත් ඒ සඳහා ආණ්ඩුව ඉතා මන්දගාමී සහ උදාසීන ස්වභාවයක් දක්වන බව ජවිපෙ නායකයා ප්‍රකාශ කරයි.

'හිතා මතාම'

Image copyright EPA

‘අගමැතිවරයාගෙන් මම ඉල්ලා සිටියා ව්‍යවස්ථා සභාව පත් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව ඉක්මනින් කැඳවන්න කියල. කථානායකවරයාගෙනුත් මා ඉල්ලා සිටියා. නමුත් සැප් 21 හෝ 23 දිනවල වත් මෙම ව්‍යවස්ථා සභාව රැස්වීම පිළිබඳ යෝජනාවක් ගෙන එන්නේ නැති කමින් පෙන්නුම් කරන්නේ හිතා මතාම මෙය පමා කිරීම සඳහා ප්‍රයත්නයක් තිබෙන බව.’ අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා පවසයි.

ව්‍යවස්ථා සභාවට ඇමතිවරුන් පත් කිරීම තුළ යළිත් එම සභාව කැබිනට් මණ්ඩලය හා සමාන තත්වයකට පත් වී ඇති බවද ඔහු පවසයි.

‘මේ යන විදියට ගියොත් ව්‍යවස්ථා සභාව සහ කැබිනට් මණ්ඩලය අතර ලොකු වෙනසක් නැති තත්වයක් තමයි ගොඩ නැගෙමින් තියෙන්නේ. ආරම්භයේ දීම අපේ යෝජනාව වුණේ මේ දේශපාලන අධිකාරියට යටත් කරනවා වෙනුවට ව්‍යවස්ථා සභාව ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට ප්‍රයත්නයක් දැරිය යුතුයි කියල.’ ජවිපෙ නායකයා ප්‍රකාශ කරයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර