ඉන්දු-ලංකා අලුත් ගමනක් - මහාචාර්ය හර්ෂ පන්ත

රනිල්- මෝදි හමුව රාජපක්ෂ පාලන සමයේදී දුර්වලව පැවති ද්විපාර්ශ්වීය සම්බන්ධතා ශක්තිමත් කිරීම දෙසට තැබූ වැදගත් පියවරක් ලෙස හැඳින්විය හැකි බව දකුණු ආසියාතික කලාපය පිළිබඳ අධ්‍යනය කරන ලන්ඩනයේ කිංග්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය හර්ෂ පන්ත ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකාවේ අළුත් ආණ්ඩුව සහ ඉන්දියානු ආණ්ඩුව අතර යහපත් සබඳතා ගොඩ නැගෙමින් තිබෙන බවයි දකුණු ආසියාතික කලාපය පිළිබඳ විශේෂඥයකු වන මහාචාර්ය හර්ෂ පන්ත බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකදී කියා සිටියේ.

සාර්ක් කලාපයේ ක්‍රියාකාරකම් වැඩි දියුණුවීමට දෙරටේ අගමැති හමුව ඉවහල් විය හැකි බවත් මහාචාර්ය හර්ෂ පන්ත පවසයි.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු ඉකුත් මාස කිහිපය තුල දෙරට අතර සම්බන්ධතාවල ප්‍රවර්ධක ශක්තියක් ගොඩ නැගෙමින් තිබෙන බවක් දක්නට ලැබෙන බවයි මහාචාර්යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

Image copyright Getty

ඉන්දියාවේ කාර්ය භාරය

දකුණු ආසියානු කලාපය තුළ ඉන්දියාවේ කාර්ය භාරය පුළුල් කිරීමට නරේන්ද්‍ර මෝදි රජය ගන්නා උත්සාහය තුළ අගමැති රනිල් වික්‍රමසිංහ සහ අගමැති මෝදි අතර සාකච්ඡා දෙරටටම වැදගත් වන බව මහාචාර්ය හර්ෂ පන්තගේ තක්සේරුවයි.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව චීනයට වඩාත් නැඹුරුව කටයුතු කරන බව ඉන්දියාවට ඒත්තු ගිය කරුණක් වූවත් පසුගිය මාස කිහිපය තුලදී දක්නට ලැබුනේ ශ්‍රී ලංකාව ඒ තත්වයෙන් වෙනස්ව සමබරව ඉන්දියාව සමඟත් කටයුතු කරන බව යැයි මහාචාර්ය හර්ෂ පන්ත පවසයි.

තත්වය එසේ වුවත්, ශ්‍රී ලංකාව ඉන්දියාවට වැඩි නැඹුරුවක් ඇතිව කටයුතු කරන බව චීනය කියා සිටින බවයි ඔහු ප්‍රකාශ කළේ.

ජාතික ප්‍රශ්නය

ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දියාවත් ශ්‍රී ලංකාවත් ඉතා ප්‍රවේශමෙන් කටයුතු කළ යුතු බව පවසන මහාචාර්ය හර්ෂ පන්ත එහිදී ශ්‍රී ලංකා රජය රටේ දෙමළ ජනතාවගේ සහයෝගය ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවත් පෙන්වා දෙයි.

ඉන්දීය අගමැති මෝදි තමන්ට තමිල්නාඩු දේශපාලනයෙන් ඈත්වී සිටීමට ඇති හැකියාව මේ දක්වා අඟවා ඇති බවයි ඔහු පවසන්නේ.

නමුත් ඉන්දියාවේ කලින් පැවති මන් මෝහන් සිංග් රජයට තමිල්නාඩු දේශපාලන පක්ෂවලින් එල්ලවන පීඩනය කළමනාකරණය කර ගැනීමට නොහැකි වූ බව මහාචාර්යවරයාගේ අදහසයි.

Image copyright NAFSO

ධීවර ප්‍රශ්නය

ඉන්දු-ලංකා ධීවර ප්‍රශ්නය පිළබඳව මහචාර්ය පන්ත කියා සිටියේ දෙරට මේ ගැටළුව මානුෂික ගැටළුවක් සේ සළකා කටයුතු කරන නිසා ප්‍රශ්නය විසඳා ගැනීම වඩාත් පහසුවෙන බවයි.

එසේම ඊට කඩිනම් විසඳුමක් සෙවීමට හැකියාව ලැබෙන බවත් මහාචාර්ය හර්ෂ පන්තගේ විශ්වාසයයි.