බ්‍රිගේඩියර්ට එරෙහිව නීතිමය පියවර ගන්න - උද්ඝෝෂණයක්

තුර්කියේ තානාපති ධුරය දරමින් සිටි, රතුපස්වල ජනතා උද්ඝෝෂණයට වෙඩි තැබීමට අන දුන් බව පැවසෙන බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන දිවයිනට ලඟා වෙද්දී කටුනායක ගුවන් තොටුපලේදී විරෝධය පල වේ.

වෙඩි තැබීමට ලක් වූ හා එම සිද්ධියෙන් ආබාධිත භාවයට ලක් වූ ප්‍රදේශවාසීන් කටුනායක ගුවන් තොටුපලට පැමිණ, බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන් වෙත අවධාරණය කළහ.

සත්‍යග්‍රහය

බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස බලධාරීන් හා ජනාධිපතිවරයා වෙත අවධාරණය කිරීම තම උවමනාව බව ගුවන් තොටුපල භූමියේ පැය හතරක පමණ කාලයක් සත්‍යග්‍රහයක නියැලුණු රතුපස්වල ජල උද්ඝෝෂණයට නායකත්වය දුන් පූජ්‍ය තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ.

සමාජ සේවා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක විසින් රතුපස්වල සිදුවීමට අදාල පරීක්ෂණ විධිමත් කරන බවට දුරකථනයෙන් දුන් පොරොන්දුවකට අනුව සිය සත්‍යග්‍රහය නිම කළ බවයි උන්වහන්සේ ප්‍රකාශ කළේ.

“නිසි කාල සීමාවක් තුළ කටයුතු කාරණා සිද්ධ වන තුරු බලා සිටිනවා. එසේ නොවන්නේ නම් ඒ වෙනුවෙන් ගත යුතු සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට අප බලාපොරොත්තු වෙනවා," මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් යැයි සිරිධම්ම හිමියෝ තවදුරටත් පැවසූහ.

අධිකරණය නියෝගය

මේ අතර, රතුපස්වල ප්‍රදේශයේ ජල මූලාශ්‍රවල ප්‍රමිතිය පිළිබඳව පරීක්ෂණ පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන මෙන් අභියාචනාධිකරණය අද, අඟහරුවාදා මධ්‍යම පරිසර අධිකාරියට නියම කළේය.

සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ඉදිරිපත් කල පෙත්සමක් සලකා බැලීමෙන් පසුවයි අධිකරණය එම නියෝගය නිකුත් කලේ.