ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

යුද අපරාධ පිරික්සුමට මිශ්‍ර උසාවියක්

2002 සහ 2011 අතර සමයේ ශ්‍රී ලංකාවේ ගැටුමට හවුල් දෙපාර්ශවය විසින් සිදු කරනු ලැබ ඇතැයි එක්සත් ජාතීන් විසින් හඳුනා ගනු ලැබ ඇති යුද අපරාධ සහ මානව වර්ගයාට එරෙහි බරපතළ අපරාධ විභාගයට මිශ්‍ර අධිකරණයක් (Hybrid) පිහිටුවිය යුතු යයි එම සංවිධානය නිර්දේශ කරයි.

එම නිර්දේශය ඇතුළත් එක්සත් ජාතීන්ගේ වාර්තාව අද (16) ජිනීවා නගරයේදී මෙයින් ස්වල්ප වෙලාවකට පෙර නිකුත් කෙරුණ අතර සිදු කෙරුණ විමර්ශන වලින් ඉවක් බවක් නැතිව කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාර, නීතියෙන් පරිබාහිරව කරන ලද මිනී මැරීම්, බලහත්කාරයෙන් කරන ලද අතුරුදහන් කිරීම්, වධහිංසා පැමිණවීම් සහ ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ කම්පාවට පත් කෙරෙන විස්තර ඇතුළත් ශ්‍රි ලංකාව තුළ සිදුව ඇති බිහිසුණු මට්ටමේ උල්ලංඝණය කිරීම් සහ අපහරණ ඉදිරිපත්ව ඇති වාර්තාවෙන් හෙළි කරන්නේ’යැයි මානව හිමිකම් භාර එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිඩ් ප්‍රකාශ කරයි.

සමස්තයක් වශයෙන් ගත් විට‘අන්තර්ජාතික ප්‍රජාවේ අවධානයට ලක් වෙන බරපතළ ආකාරයේ උල්ලංඝණය වීම්’ වාර්තාවෙන් හෙළි කෙරෙන බවයි මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

'බරපතළ අපරාධ ලැයිස්තුවක්'

ශ්‍රී ලංකාවේ සිදු වී ඇති බරපතළ අපරාධ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් කරුණු ඇතුළත් කරන එක්සත් ජාතීන්ගේ වාර්තාව නීති විරෝධී මිනී මැරුම්, ලිංගික හා ස්ත්‍රී පුරුෂ භාවය පදනම් ප්‍රචණ්ඩත්වය බලහත්කාරයෙන් සිදු කරන ලද අතුරුදහන් කිරීම්, වධහිංසා සහ වෙනත් ආකාරයේ කුරිරු අමානුෂික හෝ අවමන් සහගත සැලකීම් ළමයින් හමුදාවට බඳවා ගැනීම සහ ඔවුන් සටන්වලට යොදා ගැනීම මෙන්ම වැඩිහිටියන් පැහැර ගෙන යෑම සහ බලහත්කාරයෙන් හමුදාවට බඳවා ගැනීම, මානුෂීය ආධාර වැළැක්වීම සහ විවෘත නොවුන කඳවුරු අභ්‍යන්තරයේ අවතැන් වු පුද්ගලයන් රැඳවීම ආදී සාපරාධී ක්‍රියා රාශියක් ලැයිස්තුගත කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව පිලිබඳ වාර්තාව ඉදිරිපත් කරන්නේ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු සහගත තත්වයක් පවත්වා ගත හැකි දේශපාලන සන්දර්භයක් තුළ යැයි’ සඳහන් කළ මහකොමසාරිස් සෙයිඩ් ‘සැබැවින්ම මූලික වෙනසක් සඳහා වූ මෙම ඓතිහාසික අවස්ථාව අත් නොහැරීම අතිශයෙන් වැදගත්’ වන බවත් අවධාරණය කළේය.

මානව හිමිකම් කොමිසමේ සවිස්තර ප්‍රකාශනයක් මෙතනින් ලබා ගන්න.