'මාධ්‍ය වාර්තාකරණය ගැන නොසතුටක්'

Image copyright pmd

රටේ අන්තවාදි බලවේග ජනතාව නොමග යැවීමේ අසාර්ථක උත්සාහයක නියැලෙන බැවින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳව ජනතාව නිවැරදිව දැනුවත් කිරීම මාධ්‍ය ආයතනවල වගකීමක් බව ජනාධිපතිවරයා පවසයි.

සීපා ගිවිසුම සම්බන්ධයෙන් රජය කිසිවක් කථා කර හෝ කිසිදු පියවරක් ගෙන නොමැති බවද ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, ඇතැම් කණ්ඩායම් පටු දේශපාලන වාසි ලබා ගැනීම උදෙසා ඒ පිළිබඳ විවිධ ප්‍රචාර ගෙන යමින් සිටින බව ප්‍රකාශ කළේය.

Image copyright pmd

මාධ්‍ය වගකීම

මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ ජනාධිපති මන්දිරයේ පැවති හමුවකට එක් වෙමින් ජනාධිපතිවරයා තව දුරටත් කියා සිටියේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මාධ්‍යයන්හි වගකීම වන්නේ ජනතාව වෙත සමබරව තොරතුරු ගෙන යාම බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහද මෙම හමුවට එක්වූ අතර ඔහු ප‍්‍රකාශ කළේ සීපා ගිවිසුම අත්සන් කිරීම පිළිබඳව කිසිදු සූදානමකින් තමා ඉන්දීය සංචාරය සිදු නොකළ බවයි.

Image copyright pmd

ගාමිණී සුමනසේකර

මෙම හමුවට සහභාගී වූ උපාලි පුවත්පත් ආයතනයේ කර්තෘ මණ්ඩල අධ්‍යක්‍ෂ, ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර බීබීසීයට කියා සිටියේ ඇතැම් මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙන ආකාරය පිළිබඳව නොසතුටක් මෙහිදී මාධ්‍යවේදීන් ඇමතූ අගමැතිවරයාගේ ස්වරය තුළ දක්නට ලැබුණු බවයි.

‘ප්‍රශ්න ඇති කරන්නේ නැතුව අපි මේ ජිනීවාවල ඇතිවෙලා තියෙන ප්‍රශ්නයෙන්, එක්සත් ජාතීන් ඉදිරියේ අපිට මේ එල්ලවී ඇති චෝදනාවලින් නිදහස් වෙලා අපේ රටේ ගෞරවයත්, ආරක්ෂක හමුදාවල ගෞරවයත් අපි රැක ගමු කියන ඒක තමයි ඔහුගේ කතාවේ හරය වුනේ.’ ප්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර බීබීසීයට පැවසීය.

'අනවශ්‍ය බද්දක්'

කඩදාසි සඳහා සහ වෙළඳ දැන්වීම් වලින් ලබන ආදායමට බදු වැඩි කරන බවටද ඉඟියක් මෙහිදී පළවුණු බව ද ඔහු සඳහන් කළේය.

‘මං හිතනවා ඒක අනවශ්‍ය බද්දක් කියල. මොකද දැන්වීම්වලින් බද්දක් අය කරලා හරියන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මාධ්‍යකරුවාට පවතින පහසුකම් වැඩි දියුණු කිරීම තමයි සිද්ධවෙන්න ඕන.’ ගාමිණී සුමනසේකර පවසයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර