විදේශ රැකියා ආයතනවලට තහංචි

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක විදේශ රැකියා ආයතන 150 කට අධික සංඛ්‍යාවකට එරෙහිව තහංචි පනවන ලද බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

බලපැවැත්වෙන රෙගුලාසි සහ කොන්දේසි නොතකා හැරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ.

නිවැරදි ක්‍රියා පටිපාටිය අනුගමනය කිරීම සඳහා කඩිනමින් ක්‍රියා කිරීමට මේ හරහා එම ආයතන උනන්දු වනු ඇති බව එම කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී සහ ප්‍රකාශක මංගල රන්දෙණිය බීබීසී සංදේශයට පැවසීය.

'බලපත්‍රයක් රැකියා නියෝජිතවරයකුට ලබා දෙන්නේ මූලික පදනමක් ඇතිව; එම ආයතන විසින් බඳවා ගනු ලබන සියලුම රැකියා ලාභීන්ගේ සම්පූර්ණ සේවා කාලය තුළ ඔහු හෝ ඇය වෙනුවෙන් සමස්ත වගකීම බාර ගන්නවා යැයි කියන එකඟතාවය මත' ඔහු පැවසුවේය.

Image copyright bbc
Image caption සෞදි අරාබියේදී මරණ දණ්ඩනයට යටත් කල රිසානා නෆීක් විසූ නිවාස

සේවා ස්ථාන තුළ බලපැවැත්වෙන රීති කඩවීමෙන් එම එකඟතාව උල්ලංඝනය වන බවයි සාමාන්‍යාධිකාරීවරයා සඳහන් කළේ.

'සේවා ස්ථානයේ ගිවිසුමේ තියන පඩි නොලැබීම, නිවැරදිව ආහාරපාන ලබා නොදීම, සෞඛ්‍ය සම්පන්න විදිහට ඔවුන්ට සලකන්නේ නැති එක, ඒ වගේම ශාරීරික වශයෙන් වද හිංසනයට භාජනය වීම, එතනින් එහාට ගිහින් ලිංගික අඩම්තේට්ටම් සිදු කිරීම කියන මේ සියලු ආකාරයකම ප්‍රශ්න වෙනුවෙන් දේශීය නියෝජිතයා වගකිව යුතුයි.'

සේවා ගිවිසුමේ අඩංගු සියලු වරප්‍රසාද රැකියා ලාභීන් වෙත ලබා දෙන බවට විදේශ රැකියා ආයතන විසින් විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉදිරියේ ලබා දෙනු ලබන ලිඛිත පොරොන්දුව මැදපෙරදිග බලා යන ශ්‍රමිකයන්ගේ ආරක්ෂාවට ඇති ප්‍රධානතම උපක්‍රමය බවත් කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය වැඩිදුරටත් කියා සිටියේය.