ලංගම බිල: 'හිටපු ජනපතිට නඩු දාල තියෙන්නේ'

ජනවාරි අට වැනිදා පැවැත්වුණු ජනපතිවරණයේ දී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සඳහා බස් රථ ලබා ගැනීම වෙනුවෙන් ලංගමයට අය විය යුතුව තිබෙන ලක්ෂ 1425 ක මුදලක් නොගෙවීමට එරෙහිව නඩු පවරා ඇති බව හිටපු ප්‍රවාහන අමාත්‍යවරයා පවසයි.

ප්‍රවාහන අමාත්‍යංශය වෙනත් අමාත්‍යවරයෙකු යටතට පත්වීමෙන් අනතුරුව එහි වෙනසක් වනු ඇත්දැයි තමන්ට කිසිවක් කිව නොහැකි බවයි හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර සංදේශය කළ විමසීමක දී කියා සිටියේ.

Image copyright elvis

ඉහත කී හිඟ මුදල පියවන මෙන් නඩු පැවරීමට පෙර හිටපු ජනාධිපතිවරයා ඇතුළු අදාළ පාර්ශවයන්ට ලිඛිතව දැනුම් දුන් නමුත් ඊට කිසිදු පිළිතුරක් හෝ කල් ඉල්ලීමක් තමන්ට නොලැබුණු බවයි ඔහු තව දුරටත් කියා සිටියේ.

Image copyright Wikipedia

ජනාධිපතිවරණ සමයේ දී හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කටයුතු සඳහා ලංගම බස් රථ යොදා ගැනීම වෙනුවෙන් අය විය යුතු මුදල් පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ද දැනුම් දී ඇති බව හිටපු ඇමතිවරයා පවසයි.

බස් රථ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ලබා ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ගාමිණී සෙනරත් සහ සන්ධානයේ ලේකම්වරයා අත්තිකාරම් මුදල් ගෙවා ඇති බවද ඔහු සනාථ කළේය.