'ඇත් අතුරු සෙවනට' වසර විස්සක්

අතරමං වූ වන අලි පැටවෙකු හමු වූ විට පන්සලකට හෝ වලව්වකට භාර දීම එකල පැවති සම්ප්‍රදාය යි.

පින්නවල අලි අනාථාගාරයක් ඇති කිරීමට වන ජීවී දෙපාර්තමේන්තුව පියවර ගැනීමත් සමඟ එම සම්ප්‍රදාය ඉතිහාසයට එක් විය.

1995 දී උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ද බිහි වුනේ රෑනෙන් මග හැරුණු අලි පැටවුන් ට කෙම් බිමක් සපයා දීමේ අදහසිනි.

උඩවලව ඇත් අතුරු සෙවනට වසර විස්සක් සපිරීම නිමිති කොට ගෙන එහි ඉතිහාසය සහ පින්නවල අලි අනාථාගාරයේ යටගියාව සොයා යද්දී අපට හමු වුනේ ශ්‍රී ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති පශු වෛද්‍ය විජිත පෙරේරා යි.

‘1972 පමණ වන විට අලියට අමුතු තැනක් ලැබුනා. ඒ වෙනකොට කැලේ අලි අල්ලන එකත් තහනම් කළා. ඒ කාලේ වනජීවී දෙපාර්තමේන්තුව ගත් විසඳුම තමයි අලි අනාථාගාරයක් ඇති කිරීම. ඒක තමයි පින්නවල අලි අනාථාගාරය ලෙස ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ.’

‘1980 පමණ වනජීවී දෙපාර්තමේන්තුවෙන් සත්ව උද්‍යාන දෙපාර්තමේන්තුව වෙන් වන විට පින්නවල අලි අනාථාගාරයත් ඒකට අයිති උනා. නමුත් 1995 පමණ වන විට දෙපාර්තමේන්තුව දැක්කේ මේ සත්තු කැලේට අයිති සත්තු හැටියට. ඒ කාලෙ වන ජීවී සෞඛ්‍ය ආයතනයේ ප්‍රධානියා වූ වෛද්‍ය නන්දන අතපත්තු, මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා අනාථ වූ සත්තු වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා පුරෝගාමී වූ කෙනෙක්.’ ඔහු පැවසීය.

උඩවලව ‘ඇත් අතුරු සෙවන’ ආරම්භ වූ ආකාරය පැහැදිලි කරද්දී, කෝමලී අලි පැටවා ගැන සිහිපත් කරන්නට පශු වෛද්‍ය විජිත පෙරේරා අමතක නොකළේය.

‘වසර විස්සක් සපුරන උඩවලව ඇත් අතුරු සෙවන 1995 සැප්තැම්බර් මාසයේ ආරම්භ කලේ අතරමං වී සිටි කෝමලී කියන කුඩා අලි පැටවෙකුගෙන්. එහෙම පටන් ගත්තු ඇත් අතුරු සෙවනේ තීරණාත්මක වර්ෂය උනේ 1998 වර්ෂය. ඒ වන විට බොහෝ අය කියා සිටියේ කිරි දීලා හදලා කැලේට යවන එක ප්‍රායෝගික නෑ කියලා. නමුත් 1998 දී ප්‍රථම වතාවට අනුරාධ, අනුෂා, කණ්ඩුල, ගාමිණි කියන අලි පැටවුන් අපි ‘රේඩියෝ කරපටි’ දාල කැලේට නිදහස් කළා. ඔවුන් පසුව රංචු වලට එකතු වුනා.’ පශු වෛද්‍ය විජිත පෙරේරා පැවසීය.

‘1998 අලි පැටවුන් හතර දෙනාගෙන් පටන් ගෙන 2015 වර්ෂය වන විට වන අලින් 100 ක් පමණ නිදහස් කර තිබෙනවා. දැනට අලි පැටවුන් 44ක් උඩවලව ඇත් අතුරු සෙවනේ රැකවරණය ලබනවා’ ඔහු තව දුරටත් පැහැදිලි කළේය.

‘මිනිස්සු තරම් අලින්ට ආදරය කරන පිරිසක් නෑ. අලි-මිනිස් ගැටලුවත් තවත් එක ගැටළුවක් විතරයි. මේ වෙනුවෙන් මිනිස්සුන්ට යම් දෙයක් පරිත්‍යාග කරන්නට පුලුවන් නම් මේ ප්‍රශ්නය විසදෙනවා.’ ඒ පශු වෛද්‍ය විජිත පෙරේරා ගේ ප්‍රාර්ථනයයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර