'පරණගම වාර්තාව එක්සත් ජාතීන්ට භාර නොදෙන්නේ ඇයි?'

යුද සමයේ අතුරුදන්වූවන් පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ මැක්ස්වෙල් පරණගම ජනාධිපති කොමිසමේ වාර්තාව කඩිනමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ සභාගත කරන ලෙස ඉල්ලා විද්වතුන් පිරිසක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට පෙත්සමක් භාර දෙති.

ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ හිටපු තානාපතිවරුන් දෙපලක් ඇතුළු 30 දෙනෙකුගේ පමණ අත්සන් සහිතවයි මෙම පෙත්සම ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට භාර දී තිබෙන්නේ.

ජාත්‍යන්තරය පිළිගත් උපදේශ කමිටුවකින් සමන්විත වූ මැක්ස්වෙල් පරණගම කොමිසම ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසන් කාලසීමාවේ සිදු වූ සිදුවීම් ගැන සොයා බලා සකස් කළ වාර්තාව ආණ්ඩුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට සභාගත නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

Image caption අතුරුදහන් වූවන් පිලිබඳ ජනාධිපති කොමිසමේ සභාපති මැක්ස්වෙල් පරණගම

යුධ අපරාධ චෝදනා හා ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය කළ බවට එල්ල වෙන චෝදනාවලට එම වාර්තාව මගින් නිසි පිළිතුරු දී ඇති බවයි ආචාරය දයාන් ජයතිලක බිබිසියට අදහස් දක්වමින් පැවසුවේ.

"ජාත්‍යන්තර නීති විශාරදයන් වශයෙන් ඔවුන් ඒ චෝදනා බිඳ දමල තියෙනවා, ඊළඟට පෙන්වල දීල තියෙනවා යම් යම් නිශ්චිත වැරදි අපරාධ සිද්ද වෙලා තියෙනවා ඒ සම්බන්ධයෙන් පරිපූර්ණ වශයෙන් දේශිය වූ පරීක්ෂණයක් තුලින් හා මාර්ග සිතියමක් තුලින් යුක්තිය ඉෂ්ට කරන්නේ කොහොමද කියල ඔවුන් පෙන්වල දීලා තියෙනවා"

" ඒ වාර්තාව ලංකා ආණ්ඩුවේ අතේ තියෙද්දී ඇයි මානව හිමිකම් මණ්ඩලයේ සභාගත නොකළේ කියන එක අපට ප්‍රශ්නයක්" ආචාර්ය දයාන් ජයතිලක පවසයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තම වාර්තාව ඉදිරිපත් කිරීමට පෙර පරණගම කොමිසමේ වාර්තාව ඔවුන්ට ඉදිරිපත් කර තිබුනේ නම් එක්සත් ජාතීන්ගේ වාර්තාව ශ්‍රී ලංකාවට යම් තරමක හෝ සමබර වීමට ඉඩ තිබූ බව තම අදහස බවයි ආචාර්ය දයාන් ජයතිලක පැවසුවේ.

"දැන් ලංකා ආණ්ඩුව ඇමරිකාවේ යෝජනාවක පිහිට පතනවා, නමුත් ඒ යෝජනාවේ අඩංගු වෙනවා මානව හිමිකම් චෝදනා එලල් වුනු හමුදා නිලධාරීන් සේවයෙන් ඉවත් කරන්න කියලා, ඉතින් ඒ වගේ යෝජනාවල එල්ලෙන්නෙ නැතුව ජාත්‍යන්තර විශාරදයන් පිරිසක් සම්පාදනය කරපු මේ වාර්තාව ලංකාව ආරක්ෂා කරන පලිහක් වෙයි කියන එකයි අපේ අදහස" ඔහු පැවසීය.

රාජ නීතිඥ ඩෙස්මන්ඩ් ද සිල්වා සභාපති ධුරය දැරූ කොමිසමට උපදේශකත්වය ලබා දෙන ජාත්‍යන්තර නීති විශාරද කණ්ඩායමේ ඉතිරි සමජිකයන් වුයේ මහාචාර්ය ජෙෆ්රි නයිස් සහ මහාචාර්ය ඩේවිඩ් කෙන් යන අයයි.

ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදී ආරක්ෂක හමුදාව තම රාජකාරිය ඉක්මවා ගොස් ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කර ඇත්දැයි සොයා බැලීමට පරණගම කොමිසමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නියෝග කර තිබු අතර ජාත්‍යන්තර නීතිය යටතේ සාක්ෂි පිළිබඳ සොයා බැලිය යුතු හෙයින් කොමිසමට උපදෙස් ලබා දීම සඳහායි ජාත්‍යන්තර නීති විශාරදයන් තිදෙනෙකුගෙන් සමන්විත උපදේශක කමිටුවක් පත් කලේ.

යුද්ධයේදී කිසිදු මානව හිමිකමක් කඩ නොවූ බව පවසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් පත් කළ මෙවන් කමිටුවක වාර්තාවක් ජාත්‍යන්තර විශ්වාස දිනා ගත හැකිද යන්න ගැටලුවක් නේද යන්න මෙහිදී බිබිසිය ආචාර්ය දයාන් ජයතිලක ගෙන් විමසුවේය.

" කිසිම රටක් මේකට විරුද්ධව කිසිවක් ප්‍රකාශ කර නැහැ, ජාත්‍යන්තර වශයෙන් විශ්වාසයක් තියෙනවාද නැද්ද කියල බලන්න සභා ගත කරන්න ඕනේ මානව හිම්කම් කවුන්සිලයට, ජාත්‍යන්තර වශයෙන් පිළිගත්ත විශේෂඥයන් මෙතන ඉදැද්දී අපි කොහොමද කියන්නේ මේකට ජාත්‍යන්තර වශයෙන් පිළිගැනීමක් නැහැ කියලා, මේක දැනට විවේචනය කරලා තියෙන්නේ දෙමළ ජාතික සන්ධානයේ සුමන්තිරන් මන්ත්‍රීවරයා විතරයි" ආචාර්ය දයාන් ජයතිලක පිළිතුරු දුන්ණේය.

මෙවන් යෝජනාවක් ආණ්ඩුවට කරන්නේ තමන් ඇතුළු කණ්ඩායමේ අත්දැකීම් අනුව බවයි ආචාර්ය දයාන් ජයතිලක පවසන්නේ.

"අපි දන්නවා මෙතන කරන්න ඕන දේ. නමුත් මෙතන ඒක කෙරිලා නැහැ" ඔහු පවසයි.

මෙම පෙත්සම සදහා ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නිත්‍ය කාර්යාලයේ හිටපු තානාපතිනියක් වන ආචාර්ය තමාර කුනනායගම් වැනි තනාපතිවරුන් හා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කර ඇති ක්‍රිස් ධර්මකීර්ති වැනි අය ද අත්සන් තබා ඇති බවයි ඔහු පැවසුවේ.