ළමා අපචාරවලට වැට බැඳීමට කැබිනට් අනු කමිටුවක්

Image copyright Prasad Purnimal Jayamanne
Image caption දැරිය දූෂණය කර, ගෙල සිඳ මරා දමා ඇති බව මරණ පරීක්ෂණයේ නිගමනය වී තිබේ

ශ්‍රී ලංකාවේ පැතිර යමින් පවතින ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ රැල්ල මැඩ පැවැත්වීම පිණිස ගත යුතු පියවර නිර්දේශ කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පත් කළ බව ආණ්ඩුව පවසයි.

නීතිය සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන ඒ බව සඳහන් කළේ, කොටදෙනියාවේ සේයා සදෙව්මි බක්මීදෙනිය පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමීම පිළිබඳව පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් කරමින්.

අමාත්‍යවරයාගේ ප්‍රකාශයට අනුව, දැරිය දූෂණයට ලක් කර ගෙල සිර කර මරා දමා ඇතැයි යන්න මරණ පරීක්ෂණයේ නිගමනය වී තිබේ.

'පුළුල් පොලිස් ඒකකයක්'

දැරියගේ ඝාතනය පිළිබඳව සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, තවත් ගම්වාසීන් 40 ක පමණ පිරිසකගෙන් පොලිසිය විසින් ප්‍රශ්න කර තිබෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

Image caption පිරිස් බලය සහ භෞතික සම්පත් ලබා දී පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය 'පුළුල් කළ යුතුයි'

පස් හැවිරිදි දැරියගේ සිරුරේ තිබී සොයා ගන්නා ලද ද්‍රවයක් සහ සැකකරුවන්ගෙන් ලබාගත් ඩීඑන්ඒ සාම්පල පරීක්ෂණයට භාජනය කෙරෙමින් තිබෙන අතර ඒ සඳහා දින 4-5ක් ගතවනු ඇතැයි අපේක්ෂිතයි.

ළමා අපචාර සහ ස්ත්‍රී දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම පිණිස විශේෂ පොලිස් ඒකකයක් පවතින නමුත් ළමා අපචාරවලට වැට බැඳීම පිණිස අපරාධ විමර්ශන කාර්යාංශය මෙන් 'පුළුල් ඒකකයක් ලෙසින්' එය ස්ථාපිත කළ යුතුය යන්න අමාත්‍යවරයාගේ ස්ථාවරයයි.

පිරිස් බලය සහ භෞතික සම්පත් ලබා දී එම ඒකකය පුළුල් කිරීම ආණ්ඩුවේ බලාපොරොත්තුවයි.

ඒ අතරම ශ්‍රී ලංකාවේ ළමා දූෂණවලින් විශාල ප්‍රමාණයක් සිදු වී තිබෙන්නේ වයස අවුරුදු 12-15 ත් අතර පාසල් දැරියන් සිය කැමැත්තෙන්ම පුරුෂයන් සමඟ එක්වීමෙන් බව පවසන අමාත්‍ය තිලක් මාරපන, එය වැළැක්වීම පිණිස දෙමාපියන් දැනුවත් කිරීමේ අවශ්‍යතාවයද පෙන්වා දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර