නීතිපති මුල්කර ගනිමින් ආණ්ඩුව තුළ බෙදීමක්

Image copyright AFP

ඇවන්ට් ගාඩ් ආරක්ෂණ සමාගම හා කේපී සම්බන්ධයෙන් නෛතික ක්‍රියාමාර්ග ගැනීමේදී නීතිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් දක්නට ලැබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ පාලනයේ ප්‍රබලයින්ට එරෙහිව එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් නිසි නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කර නොමැති බවට නීතිපතිවරයාට එරෙහිව කරන චෝදනා ‘අපහාසාත්මක’ යැයි අමාත්‍ය ජෝන් සෙනවිරත්න පවසයි.

ඇවන්ට් ගාර්ඩ් විභාගය සම්බන්ධයෙන් නඩු පැවරීමට ප්‍රමාණවත් සාක්ෂි නොමැති බවට නීතිපතිවරයා කරන ප්‍රකාශය පිළිබඳ මාධ්‍යවේදීන් ප්‍රශ්න කළ විට ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයා පසුගිය 17 දා කියා සිටියේ ‘නීතිපති කියනවා ඇවන්ගාර්ඩ් එකටත් නැහැයිලු. ගෝඨාභයටත් නැහැයිලු. කේ.පීටත් නැහැයිලු.දැන් මම අහන්නේ නීතිපතිත් නැද්ද කියලයි’ යනුවෙන්.

නීතිපතිවරයා වරදක් කොට ඇති බව කැබිනට් මණ්ඩලයේ අදහස නොවන බව පවසන ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි චෝදනා සම්බන්ධයෙන් පොලිසිය හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පුළුල් පරීක්ෂණ සිදු කළ යුතු බවට කැබිනට් මණ්ඩලය තීන්දු කළ බවයි.

පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා දෙනු ලබන වාර්තා පදනම් කර ගනිමින් පමණක් නීතිපතිවරයා කටයුතු කරන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

‘නීතිපතිවරයාට දොස් කියලා වැඩක් නැහැ. මේක සම්පුර්ණයෙන් මම හිතන්නේ පදනම් විරහිත චෝදනාවක් තමයි නීතිපතිවරයාට දක්වන්නේ’

Image caption ‘නීතිපති කියනවා ඇවන්ගාර්ඩ් එකටත් නැහැයිලු. ගෝඨාභයටත් නැහැයිලු. කේ.පීටත් නැහැයිලු.දැන් මම අහන්නේ නීතිපතිත් නැද්ද කියලයි’

යම් යම් පැමිණිලි සම්බන්ධයෙන් නීතිපතිවරයාට ඉදිරිපත් කරන චෝදනා, යම් යම් චෝදනාවලට ලක්වුනැයි කියන උදවියගේ නම් සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වාර්තා පදනම් කර ගෙන තමයි නීතිපතිවරයා තීන්දු කරලා තියෙන්නේ. පරීක්ෂණ අවසාන කරලා ඉදිරිපත් කරන වාර්තාව මත තමයි නීතිපතිවරයා තමුන්ගේ නිගමනය ප්‍රකාශ කරන්නේ’

‘ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂණ සේවාවේ පූර්ණ වගකීම ඇවන්ට් ගාඩි ආරක්ෂණ සේවය වෙත ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා කටයුතු කිරීම’ පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අඟහරුවාදා(22) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය

එවැනි තත්වයක් යටතේ නීතිපතිවරයා ඉවත් කිරීමට ජාතික ව්‍යවස්ථාදායක සභාව කටයුතු කරන්නේ දැයි එහි සාමාජික අමාත්‍ය ජෝන් සෙනවිරත්නගෙන් සංදේශය විමසා සිටි අතර ඔහු කියා සිටියේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම නීතිපතිවරයාගේ කාර්යයක් නොව එය පොලිසියේ කාර්යයක් බවයි.

Image caption ජාතික ආරක්ෂාවට බරපතළ ලෙස බලපෑම් කළ හැකි මුහුදු ආරක්ෂණ සේවාවේ පූර්ණ වගකීම ඇවන්ට් ගාඩි ආරක්ෂණ සේවය වෙත ලබා දීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා කටයුතු කිරීම පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ අඟහරුවාදා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය

නීතිපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට මේ දක්වා යෝජනාවක් ඉදිරිපත් කර නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජනතා විමුක්ති පෙරමුණේ නායකයා සිය මතයේ එළඹ සිට පදනම් විරහිත ප්‍රකාශයක් කොට ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

‘යම් කිසි පරීක්ෂණයක් කිරීමෙන් පසුව නීතිපතිවරයාගේ ක්‍රියා කලාපය වැරදියි කියලා කිව්වා නම් ඒක ජනතාව පිළිගනියි. මම හිතනවා ඒක යම්කිසි ගරුත්වයක් ඇතිව වැඩ කරන රටේ වැදගත් නිලධාරියකුට කරන අපහාසයක් කියලා’ ජෝන් සෙනවිරත්න අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.