මහින්ද රාජපක්ෂ පිළිතුරු දිය යුතු ප්‍රශ්න තුනක්

Image copyright AP

බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අද සවස (23) ප්‍රශ්න කිරීමට නියමිතයි.

ඒ අතරවාරයේ බීබීසී සංදේශයට ප්‍රකාශයක් කළ කොමිසමේ ලේකම් ලෙස්ලි ද සිල්වා, පසුගිය ජනාධිපතිවරණ සමයේ හිටපු ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් රජයට අයත් ස්වාධීන රූපවාහිනී සේවය ඔස්සේ දැන්වීම් ප්‍රචාරය කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුළු මුදල නොගෙවීම නිසා ස්වාධීන රූපවාහිනියට සිදුවූ පාඩුවට අදාළව පරීක්ෂණ පිළිබඳව ඔහුගෙන් ප්‍රශ්න කරන බව කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරයා ITN ආයතනය මගින් සිය දැන්වීම් ප්‍රචාරය කොට ගෙවීම් පැහැර හැරීම නිසා එම ආයතනයට සිදු වී ඇති පාඩුව රුපියල් කෝටි දෙකක් පමණ වෙතයි ඇස්තමේන්තු කරනු ලැබ ඇත.

කෝටි දෙකක පාඩුවක්

Image copyright AP

තවත් චෝදනාවක් වන්නේ ජනාධිපති ධූර අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රචාරක දැන්වීම් පළ නොකොට ඒවා සඳහා අය කළ මුදල් ආපසු ගෙවනු ලැබීමෙන් ආර්ථික වශයෙන් ITN ආයතනයට පාඩු සිදු කිරීමයි.

තවද, ආණ්ඩුවේ ආයතනයක් වන ස්වාධීන රුපවාහිනී ආයතනයේ (ITN) සභාපති පදවියේ කටයුතු කළ රොස්මන්ඩ් සේනාරත්න ඉන් ඉවත් කොට එම පදවියට අනුර සිරිවර්ධන පත් කරනු ලැබීම පිළිබඳවත් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කෙරෙන බවයි බරපතල වංචා දූෂණ පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග වලින් පැවසෙන්නේ.

රොස්මන්ඩ් සේනාරත්න වෙනුවට අනුර සිරිවර්ධන ස්වාධීන රුපවාහිනී ආයතනයේ (ITN) සභාපති පදවියට පත්කර ගනු ලැබුණේ පසුගිය ජනාධිපති වරණයේ ප්‍රචාරක ව්‍යාපාරය ආරම්භ කිරීමත් සමගයි.

ඒ හැර පසුගිය ජනාධිපතිවරණ සමයෙහි ස්වාධීන රුපවාහිනී ආයතනය (ITN) ඔස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් දැන්වීම් ප්‍රචාරය කර ඊට ගෙවිය යුතු වූ රුපියල් කෝටි දහයකට අධික මුදලක් නොගෙවීම ගැනත් ප්‍රශ්න කෙරෙන බවයි පැවසෙන්නේ.

ගාස්තු දෙකක්

ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන යන දෙදෙනාගේ ප්‍රචාරක දැන්වීම් පළ කිරීමේදී හිටපු ජනාධිපතිවරයාගෙන් අය කළ මුදලට වඩා වැඩි මුදලක් මෛත්‍රීපාල සිරිසේන අපේක්ෂකයාගෙන් අය කරනු ලැබීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයාගෙන් ප්‍රශ්න කිරීමට නියමිතයි.

ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය මාධ්‍ය ආයතනයකට රුපියල් මිලියන 200ක අලාභයක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග හා මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම් අචාර්ය පී.බී ජයසුන්දර යන අයගෙන් ද බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම පසුගිය 16දා ප්‍රශ්න කර තිබුණි.

ප්‍රශ්න කිරීම නිවසේදී

Image copyright elvis

හිටපු ජනාධිපතිවරයා බරපතළ වංචා හා දූෂණ සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිසම කර එනු ඇතැයි බලාපොරොත්තු වන නමුත් ඔහු එහි ලඟා නොවුණොත් නිලධාරීන් ඔහුගේ නිවසට හෝ ගොස් ප්‍රශ්න කිරීම සිදු කරන බවයි කොමිසමේ ලේකම්වරයා බීබීසියට කියා සිටියේ.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් රොහාන් වැලිවිට බීබීසිය කළ විමසීමකදී සඳහන් කළේ කොමිසම හිටපු ජනාධිපතිවරයාගේ නිවසට එන බවයි.