හමුදාවේ දූෂණයක් ගැන කී බුද්ධික හතරවැනි තට්ටුවට

Image copyright Buddhika Pathirana

හමුදාපතිවරයා කරන ලද පැමිණිල්ලක් මත තමන්ව රහස් පොලිසියට කැඳවා පැය තුනකට අධික කාලයක් තිස්සේ ප්‍රශ්න කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ පවසයි.

හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු සිදු කරන දූෂණ පිළිබඳව තමා කළ ප්‍රකාශයකට අදාළ තොරතුරු තමාට ලැබුණේ කෙසේද යන්න මෙහි දී ප්‍රශ්න කළ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

බිලියන පනහක්

‘ත්‍රිවිධ හමුදාවට ආහාර සැපයීමේ කොන්ත්‍රාත්තුව 2010 සිට රුපියල් බිලියන පනහක්. එහි දූෂණ අක්‍රමිකතා ගැන මම කතා කළා. මට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පණිවිඩයක් ලැබුන හමුදාපතිවරයා ඒ ගැන පැමිණිල්ලක් කරලා තියෙනවා. ඇවිත් කට උත්තරයක් දෙන්න කියල.’ ඔහු පැවසීය.

තමා හෙළිදරව් කළ දූෂණයට අදාළ චුදිතයෙකුම හමුදාපතිවරයාගේ නියෝජිතයා ලෙස පැමිණිල්ල ඉදිරිපත් කිරීම සඳහා රහස් පොලිසියට යවා ඇති බවත් එය යහපාලන මුලධර්ම උල්ලංඝනය කිරීමක් බවත් බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ඇමතිකමක්

‘අලුත් ආණ්ඩුවක් ආවම සාමාන්‍යයෙන් ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රීවරු ගෙන්වන්නේ ජනාධිපති මන්දිරයට, එක්කෝ ඇමතිකමක් දෙන්න නැත්නම් නියෝජ්‍ය ඇමතිකමක් දෙන්න. මාව ගෙන්වන්නේ හතරවෙනි තට්ටුවට. ඒක ලැජ්ජාවට කාරණයක්.’

‘එපමණක් නොවෙයි. හමුදාපතිවරයා වෙනුවෙන් යන්නේ කවුද? මේ දූෂණවලට චෝදනා සහ සැකය මම එල්ල කරද්දී එයින් කෙනෙක්වම යැවීම මගින් යහපාලන මුලධර්ම නිර්ලජ්ජිත ලෙස උල්ලංඝනය කරනවා.’ මන්ත්‍රීවරයා බීබීසීයට පැවසීය.

හමුදාපතිවරයා

මේ පිළිබඳව හමුදාපතිවරයා ගේ ප්‍රතිචාරය ලබා ගැනීම සඳහා හමුදා ප්‍රකාශකවරයා ඇමතූ නමුත් ඔහු කියා සිටියේ හමුදාපතිවරයා සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරන බවයි.

‘යහපාලනය විසින් පත් කරනු ලැබූ හමුදාපතිවරයා’ එහි දූෂණ සෙවීම පසෙක තබා එම තොරතුරු තමාට ලැබුණේ කෙසේද කියා සොයමින් සිටින බවට බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා චෝදනා කරයි.

කෙසේ වෙතත් තමාට තොරතුරු සැපයූ අයගේ අනන්‍යතාව රහස් පොලිසියට හෙළි කිරීමට සුදානම් නැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පැමිණිලි නොකරන්නේ ඇයි?

වංචාවක් පිළිබඳව තොරතුරු වේ නම් ඒ පිළිබඳව පොලිසියට පැමිණිලි නොකරන්නේ මන්දැයි බීබීසීය කළ විමසීමේ දී මන්ත්‍රීවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ සභාගත කිරීමෙන් අනතුරුව නිසි පියවර ගන්නා බවයි.

‘මේ ටික ඉස්සෙල්ලම පාර්ලිමේන්තුවේ සභාගත කරලා විවාදයක් ගන්න ඕන. මොකද මේ සම්බන්ධයෙන් නඩු පැවරීමේ ක්‍රියාවකට ගියොත් අපිට මේක ගැන කතා කරන්න පුළුවන් හැකියාව නැති වෙනවා. එහෙම වුනොත් දීර්ඝ කාලයක් යන ක්‍රියාදාමයක් තුළ ඒ නඩුව ඉවර වෙන කල් මේ වංචාව දිගින් දිගටම කර ගෙන යන්න ඒ අදාළ පාර්ශවයන්ට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා.’ බුද්ධික පතිරණ මන්ත්‍රීවරයා පැවසීය.