ජිනීවා යෝජනාව: 'ඇමෙරිකාව සැර බාල කරලා'

Image copyright AFP
Image caption එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවත් නව යෝජනාවේ සඳහන්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩල 30 වන සැසිවාරයෙහි දී සම්මත කිරීමට නියමිත ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනා කෙටුම්පත සැප්තැම්බර් 24 වන බ්‍රහස්පතින්දා සභාගත කෙරුණි.

මෙම එකඟතා කෙටුම්පත සකස් කිරිම පිණිස සතිය මුලදි පැවැති සාකච්ඡා වට දෙකක්ම තීරණයකින් තොරව අවසන් වූ අතර, එක්සත් ජනපද යෝජනා කෙටුම්පත සහ ශ්‍රි ලංකා ආණ්ඩුවේ අපේක්ෂා අතර මහත් විවරයක් ඇති පැහැදිලිවම පෙනෙන්නට තිබුණි.

මෙවැනි යෝජනා සම්බන්ධ සාකච්ජාවන්හි ඉලක්කය වන්නේ හරයට වඩා භාෂාවය. එක් පාර්ශවයක් භාෂාව ශක්තිමත් කිරීමට උත්සාහ කරන අතර අනෙක් පාර්ශවය භාෂාව දුර්වල කිරීමට උත්සාහ කරයි.

එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය මූලිකත්වය ගෙන සකස් කරන ලද මුල් කෙටුම්පතෙහි ශ්‍රි ලංකාණ්ඩුව සම්බන්ධයෙන් තරමක පසමිතුරු ආකල්පයක් දක්නට ලැබුණි. එහි ස්වරයෙන් කියැවුණේ ශ්‍රී ලංකාණ්ඩුව තවමත් විශ්වාස කළ නොහැකි එකක් බවයි. එබැවින් තරමක තරවටු ස්වරූපයක් එහි දක්නට ලැබුණි.

Image caption 'නව යෝජනාව බොහෝ දුරටම වාගේ සැසිවාරයෙහි ආරම්භක දිනයෙහි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරන ලද වගවීම සම්බන්ධ මාර්ග සිතියම යළි තහවුරු කරීමකි'

එම මුල් කෙටුම් පත ශ්‍රී ලංකාණ්ඩුවෙහි සාධනීය පියවරයන් ගැන සඳහන් කර තිබුණේ 'සැළකිල්ලට ගන්නා' බව මිස එම වෙනස්කම් 'පිළිගන්නා බව' නොවේ. එනමුත් දැන් සභාගත කර තිබෙන අවසාන කෙටුම්පෙතෙහි සෑම අවස්ථාවකදීම දක්වා ඇත්තේ නව රජය විසින් ගෙන ඇති සාධනීය පියවරයන් 'පිළිගන්නා' බවයි.

එමෙන්ම අවස්ථා ගණනාවකදීම 'ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් ඉල්ලා සිටී' යන්න ශ්‍රී ලංකාණ්ඩුව 'දිරිමත් කරයි' ලෙස ලිහිල් වී තිබේ. සමස්තයක් ලෙස අවසන් කෙටුම්පත නව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ගුණ ගායනා වලින් පිරී තිබේ.

එහිම අනෙක් පැත්ත ද මෙහි දැකිය හැකි ය. එනම් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විවේචනාත්මක වාර්තා 'පිළිගන්නා බව' වෙනුවට 'සැළකිල්ලට ගන්නා' බව දැන් කියැවෙන නිසා ය. මෙම භාෂාව දුර්වල කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාචික වාර්තාවක් ද බිලි වී තිබේ.

මුල් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිත පිරිස් දැක් වූ ප්‍රධාන විවේචනයක් වූයේ ජනවාරි 08දා සිදුවූ දේශපාලන වෙනසින් පසු රටෙහි ඇතිව තිබෙන සාධනීය වර්ධනයන් යෝජනා කෙටුම්පත විසින් නොසළකා හැර ඇති බවයි. එම තර්කයට සහාය සැපයූයේ චීනය සහ පකිස්ථානය යි. බටහිර ප්‍රජාතන්ත්‍රවාදී රටවල් ශ්‍රී ලංකාණ්ඩුවේ නියෝජිතයින් ඉදිරිපත් කළ සංශෝධනයට එකහෙළාම විරුද්ධ වූහ. එසේ නමුත් දැන් එම සංශෝධන බොහොමයක්ම අවසන් යෝජනා කෙටුම්පතට එක් කර තිබේ.

Image caption 'භාෂාව දුර්වල කිරීමට මානව හිමිකම් මහ කොමසාරිස්වරයාගේ වාචික වාර්තාවක් ද බිලි වී තිබේ'

ශ්‍රි ලංකාණ්ඩුවට වාසිදායක ලෙස සිදු කර ඇති නිදසුන් කිහිපයක් මෙසේ ය: 2015 පෙබරවාරි 04 දා ලංකාණ්ඩුව විසින් කරන ලද සාම ප්‍රකාශය අගය කරමින් නව ජේදයක් එක් කර තිබේ. විශ්වසනීය වගවීමේ ක්‍රියාවළියක් විසින් අවංකව සහ වෘත්තීමය ලෙස සිය රාජකාරිය ඉටු කළ යුද හමුදා පිරිස් ද ඇතුලුව සියලු දෙනාගේ ගරුත්වය ආරක්ෂා කරනු ඇති බව කෙටුම්පත පිළි ගනී.

තවත් නව එකතු කිරිමකින් කියන්නේ 2014 මාර්තු මාසයේ දි ශ්‍රී ලංකාව සම්බන්ධ මානව හිමිකම් කවුන්සිලයේ යෝජනාව (25/1) අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව තුල විශ්වසනීය වගවීමේ ක්‍රියාදාමයක් නොතිබූ නිසා යැයි කියා ය. ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව සකස්කරන ලද්දේ එම යෝජනාව අනුව බැවින් මෙම ප්‍රකාශය වත්මන් ආණ්ඩුවට මහත් දේශපාලන වාසියක් ලබා දෙයි.

ශ්‍රී ලංකාණ්ඩුව විසින් එක් කර ඇති තීරණාත්මක ජේදයකින් කියැවෙන්නේ මහ කොමසාරිස්වරයාගේ වාර්තාවෙහි එන එල්ටීටීඊ සංවිධානය විසින් කරන ලදැයි කියන අපරාධ සම්බන්ධයෙන් ද වගවීමේ ක්‍රියාවළියක් ස්ථාපිත කල යුතු බවයි. එවැනි කිසිදු සඳහනක් මුල් කෙටුම්පතෙහි තිබුණේ නැත. යෝජනාවෙහි මුල් කෙටුම්පතෙහි වුයේ මහ කොමාසාරිස්වරයා විසින් ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාවට නගන සේ ඉල්ලා සිටින බවයි.

වත්මන් යෝජනා කෙටුම්පතට අනුව ශ්‍රී ලංකාණ්ඩුවට කිසිවක් බල කර කියා නැත.

යෝජනාවෙහි භාෂාව පමණක් නොව අන්තර්ගතය ද වෙනස් කර ගැනීමට ශ්‍රී ලංකා නියෝජිත පිරිස සමත් වී තිබේ. එය බොහෝ දුරටම වාගේ සැසිවාරයෙහි ආරම්භක දිනයෙහි ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය මංගල සමරවීර ඉදිරිපත් කරන ලද වගවීම සම්බන්ධ මාර්ග සිතියම යළි තහවුරු කරීමකි.

එනමුත් ප්‍රථම යෝජනා කෙටුම්පතෙහි වාසිදායක වෙනස්කම් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී ඇත්තේ එක් තීරණාත්මක සම්මුතියකට එකඟවීම මගිනි. එනම් යුද්ධ කාලීන බරපතල මානව හිමිකම් කෙළෙසීම් පරීක්ෂා කර නිසි පියවර ගැනීම පිණිස ශ්‍රී ලංකාවෙහි පිහිටුවීමට නියමිත සියලු වගවීමේ දේශීය යාන්ත්‍රණයන්ට පොදු රාජ්‍ය මණ්ඩලයේ සහ වෙනත් විදේශීය විනිසුරන්ද විත්තියේ නීතිවේදීන් ද, බලය ලත් අභිචෝදකයින් ද පර්යේෂකයින් ද සහභාගි වීමේ වැදගත්කම යෝජනාවෙන් පිළිගැනීම මගිනි.

සංක්ෂිතව සඳහන් කළහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සංශෝධිත යෝජනාව මුල් කෙටුම්පත ඇල් වතුර කිරීමකි. මෙම යෝජනාවෙහි ඇත්තේ නිශ්චිත භාෂාවකට වඩා විවෘත භාෂාවකි. එය ශ්‍රී ලංකාව කළ යුතු දේ මේයැයි ඍජුව සඳහන් කරන්නේ නැත.

(මෙහි දැක්වෙන්නේ ලේඛකයාගේ පුද්ගලික අදහසයි)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර