ශ්‍රී ලංකාව: දශක හයක් ඇතුලත ව්‍යවස්ථා හතරක්

Image copyright Groundviews
Image caption නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ නීතිගත කිරීමට යෝජිත සිවු වැනි ව්‍යවස්ථාව මෙයයි

ශ්‍රී ලංකාව තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමේ දිශාවකට ගමන් ගනිමින් සිටියි.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව මේ වන විට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා තුනක් අත්හදා බලා ඇති අතර අලුතින් නව ව්‍යවස්ථාවක් නීතිගත කෙරුණ හොත් එය වසර හැට අටක් වැනි කෙටි කාල පරාසයක් ඇතුළත ක්‍රියාවට නැංවෙන සිව් වැන්න වීමෙන් එය රට තුළ පමණක් නොව අන්තර් රාජ්‍ය පද්ධතිය තුළ ද වාර්තාවක් තබනු ඇත.

දේශපාලනමය වශයෙන් සංවිධානය වූ සමාජයක් වන යම්කිසි රාජ්‍යයක පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරමින් නව ව්‍යවස්ථාවක් කරා ගමන් ගැනීමට පියවර ගනු ලබන්නේ නම් පවතින ව්‍යවස්ථාවේ අශක්නුතාවයන් හඳුනා ගැනීම කාලීන උවමනාවකි.

ශ්‍රී ලංකාවේ දැනට බලපැවැත්වෙන 'ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' (1978) වෙනුවට අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කරනු ලැබීමේ ක්‍රියාවලියක් කරා පාලකයන් යොමු කෙරුණ එවැනි ව්‍යවස්ථාමය අශක්නුතාවයන් සාකච්ඡාවට ගැනීමේ අරමුණින් බීබීසී සිංහල සේවය ඉදිරිපත් කරන විශ්ලේෂණ මාලාවක පළමුවැන්නයි, මේ.

ප්‍රවේශය

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු කුමක්ද? යන්න සම්බන්ධයෙන් විවිධ වචනවලින් ඉදිරිපත් කෙරුණ විශ්ලේෂණ රාශියක් ඇති අතර එම සියල්ල මගින් ගම්‍ය කෙරෙන පොදු තේරුමක් වන්නේ එය රාජ්‍යයක 'මූලික නීතිය' වන බවයි.

Image copyright Srilal Gomes
Image caption ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයා 1978 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපති ක්‍රමයක් නිර්මාණය කෙරිණ

බලය එකම ආයතනයක් වෙත සංකේන්ද්‍රගත වූ රාජාණ්ඩුවක හෝ ඒකාධිපති හෝ කතිපයාධිකාරී පාලනයක එවැනි මූලික නීතියක පැවැත්මක් අර්ථාන්විත නොවන අතර නූතන 'ජාතික රාජ්‍යයේ' ප්‍රභවය විසින් නිර්මාණය කෙරුණ ව්‍යවස්ථානුකූල පාලන සම්ප්‍රදායේ අවශ්‍යතාවය විසිනුයි නූතන වහරින් සහ මුහුණුවරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනයට මුල පුරනු ලබන්නේ.

මෙවැනි ලුහුඬු විශ්ලේෂනයකදී එය අර්ථ ගැන්විය හැක්කේ 'ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රාජ්‍යය සතු අසීමිත බලය පාලනය කරනු ලැබීමේ මූලික නීතිය' ලෙසින්.

තෝමස් මොන්ටෙස්කිගේ බලතල වෙන් කිරීමේ සුප්‍රකට න්‍යාය මෙම වර්ධනයේ ඓතිහාසික සලකුණක් වන අතර ඉන් පෙර ක්‍රොම්වෙල්ගේ නැගී සිටීම සහ බ්‍රිතාන්‍යයේ කාර්මික විප්ලවය හා බැඳුන ලිබරල් දේශපාලන දර්ශනය සමඟ මුසු වූ පාර්ලිමේන්තු ආණ්ඩුක්‍රමයේ සංවර්ධනය මෙන්ම ප්‍රංශ මහා විප්ලවයෙන් අනතුරුව පැතිර ගිය නෛතික ප්‍රතිසංස්කරණ ක්‍රියාදාමය වත්මන් අර්ථයෙන් ගම්‍යමාන වෙන මූලික නීතියේ ප්‍රභවය හැටියට එක වැකියකින් සංගෘහිත කළ හැකි වෙයි.

ශ්‍රී ලංකා අත්දැකීම

රාජ්‍යයක මූලික නීතිය හැටියට දැනටමත් අප විසින් හඳුනා ගනු ලැබ ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක චිරස්ථායී පැවැත්ම හෝ එය අඛණ්ඩව සංශෝධනය කිරීම කෙරෙහි එහි ප්‍රභවය තීරණාත්මක බලපෑමක් ඇති කරයි.

Image copyright DEEKSHABHOOMI
Image caption ඉන්දියාවේ විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ

උදාහරණයක් වශයෙන් ජෙෆර්සන් සහ මැඩිසන්ගේ ෆෙඩරල් ඇමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව (1787) සියවස් තුනකට ආසන්න ආයු කාලයක් වළඳමින් තවමත් මූලික වෙනසකින් තොරව විරාජමාන වන අතර එම දීර්ඝ කාලය එය සංශෝධනය කරනු අතුලත ලැබ ඇත්තේ විසිහය වතාවක් පමණි.

අපගේ ගෞරවනීය අසල්වැසියා වන ඉන්දියාව බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් මිදුණ සැණින් තමන්ගේම ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර ගත් අතර එය යෝධ භූමියක විසිර වාසය කරන විවිධ භාෂා කතාකරන, විවිධ ආගම් අදහන සමස්ත වාර්ගික සහ සංස්කෘතික කණ්ඩායම් එකට බැඳ තබන හුයක මට්ටමින් නිර්මාණය කිරීමට අවශ්‍ය ජාතික මට්ටමේ සංවාදයක් තුලින් සූත්‍රගත කිරීමට ආචාර්ය අම්බෙට්කාර් ප්‍රමුඛ ඉන්දීය ව්‍යවස්ථා සම්පාදකයෝ සමත් වූහ.

ඉන්දියානු වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මේ වන විට සංශෝධන රාශියකට භාජනය කරනු ලැබුනත් එහි මූලික ව්‍යුහාත්මක ආකෘතිය තවත් ශක්තිමත් වෙමින් පවතිනවා මිස එහි ලිහී යාමක් පෙන්නුම් නොකරයි.

තුලනාත්මකව බලන විට එම අත්දැකීම් මගින් පෙන්නුම් කෙරෙන්නේ ශ්‍රී ලාංකේය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංවර්ධනය උපතේ පටන්ම පෙන්නුම් කරන අමිහිරි විජාතික ප්‍රභවයද?

Image copyright AFP
Image caption නව ව්‍යවස්ථාව මගින් අනාගත පරපුරේ අයිතීන් සුරක්ෂිත කෙරේවිද?

සමාජමය උවමනා ඉක්මවා යමින් හුදු 'බලය' පිළිබඳ ආකර්ෂණය මගින් ඕපපාතික මට්ටමින් ස්ථාපනය කරනු ලැබුණ නීති පද්ධතීන් සමුදායක් වූ බවක්ද?

අඩු ආයුෂ ව්‍යවස්ථා දෙකක්

ශ්‍රී ලංකාවට ඩොමීනියන් තත්වය ප්‍රදානය කිරීමත් සමඟ ඊට අවශ්‍ය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පද්ධතියක් ද 'පරිත්‍යාග කිරීමට' බ්‍රිතාන්‍ය පාලකයෝ නොමසුරු වූහ.

එහෙත් තම අසල්වැසියා (ඉන්දියාව) අනුව යමින් එම ඩොමීනියන් බැඳීම කෙළවර කොට ස්වීය වූ ආණ්ඩුක්‍රමයක් නිර්මාණය කර ගැනීමේ ජාතික අභිලාෂයක් කරා සමීප වීමට නිදහස් ලංකාවේ පාලකයන් අසමත් වූ අතර එවැනි පරිවර්තනයක් සිදු වන්නේ 1972 වසරේ 'ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව' නිර්මාණය කර ගැනීමත් සමගයි.

Image copyright Getty
Image caption 1972 දී හඳුන්වා දුන් ව්‍යවස්ථාව මගින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරිණ

ආරම්භයේ දීම එය ශ්‍රී ලංකාවේ දකුණේ සිංහල ප්‍රධාන දේශපාලන බලවේගවල පවා අභියෝගයට ලක් වූ අතර විශේෂයෙන්ම එය දමිළ සුළු ජනයාගේ ආශීර්වාදය නොලද්දේ ඔවුන්ට රැකවරණයක් හැටියට සැලකුණ 1947 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වැනි සුප්‍රකට වගන්තිය, දෙවැනි මන්ත්‍රී මණ්ඩල ව්‍යවස්ථාදායක ආකෘතිය මෙන්ම නාමකරණයෙන් සීමිත මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් පත් කිරීමට තිබුණ අවසරය අහෝසි කරනු ලැබීම හේතුවෙනි.

සෝල්බරි ව්‍යවස්ථාවේ 29(ඉ) වගන්තිය සුළු ජාතික රැකවරණය සඳහා ප්‍රමාණවත් රැකවරණයක් නොවූ බව එහි නිර්මාතෘවරයා වන ශ්‍රීමත් අයිවර් ජෙනිංස් පවා පිළිගෙන තිබුන අතර 1972 දී සිදු වූයේ එම අල්ප රැකවරණයත් පැහැර ගනු ලැබීමයි.

අනාගමිකවාදයට පිටුපෑම

ඒ වෙනුවට 1972 අභිනව ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් වූ ශ්‍රී ලංකාවේ කීර්තිමත් ට්‍රොට්ස්කිවාදී දේශපාලන බුද්ධිමතුන් සහ එම පාලනයේ පුරෝගාමීහු සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්නට වූ අනාගමික මුහුණුවර මකා දමමින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරමින්ද, බුදුදහම රාජ්‍ය ආගම කරමින්ද අලුත් සමාජමය විසංවාදයකට මග විවර කළහ.

Image copyright AFP
Image caption 1972 ව්‍යවස්ථාව මගින් බුදු දහම රාජ්‍ය ආගම බවට පත් කෙරිණ

යාන්තමින් අවුරුදු හයක් ආයු විඳ බිලිඳු වියේදීම අභාවප්‍රාප්ත කෙරුණ එම ව්‍යවස්ථාවේ අනුප්‍රාප්තිකයා වන දැනට තිස් හත් වන වියේ පසුවෙන වත්මන් 'ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්' ඉන් පෙර ව්‍යවස්ථාවේ චරිත ලක්ෂණය වන අනාගමිකවාදයට පිටුපෑම එලෙසින්ම දායාද කරනු ලැබ ඇත.

1972 සහ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ද්වය මගින් පුරවැසි අයිතිය සහතික කරනු ලැබීමක් හැටියට හුවා දක්වමින් 'මූලික අයිතිවාසිකම් ප්‍රකාශනයක්' මූලික නීතියේ අංගයක් හැටියට නීතිගත කරනු ලැබුන නමුත් ඒවා අලංකාර සැරසිල්ලක මට්ටමින් එහාට නොගිය බවයි රාජ්‍යය තුල ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුණ වෙනත් අණපනත් මගින් පෙන්නුම් කෙරුණේ.

මේ අනුව අනාගමිකවාදයට පිටු පෑ වේගයෙන්ම ජාතික රාජ්‍ය සභාවේ බලය හරහා දේශපාලන විධායකය අසීමිත බලාධිකාරියක තත්වයකට ඔසවා තබනු ලැබීම මගින් 1972 ව්‍යවස්ථාවද, ජනාධිපති පදවියේ අසීමිත බලය පාර්ලිමේන්තුව සහ අධිකරණයට ඉහළින් ස්ථාපනය කරනු ලැබීම මගින් 1978 ව්‍යවස්ථාවද ප්‍රජාතාන්ත්‍රික රාමුවෙන් බොහෝ දුරට ඈත් වූ අතර එම ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය කදිම ලෙස නිරූපනය කෙරුණේ එම දෙපාර්ශවයම මහජන අනුමැතියෙන් තොරව ඔවුන්ට පැවරුන පාලන කාලය දීර්ඝ කර ගනු ලැබීමෙනි.

බලය බෙදා හැරීම

එම ව්‍යවස්ථා ද්වයම මුහුණ දුන් ප්‍රධාන අභියෝගයක් වූයේ ප්‍රාදේශීය මට්ටමින් බලය බෙදා හරිනු ලැබීමට දක්වන අකමැත්තයි.

1972 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරුන් සිය ව්‍යවස්ථා රාමුවට කිසිදු ලෙසකින් ඇතුලත් නොවූ තේරුමක් නොමැති දිසා දේශපාලන අධිකාරියක්ද 1978 ව්‍යවස්ථාවේ නිර්මාතෘවරයා ඉන් එහාට යමින් ඉන්දියාවේ බලපෑම මත පළාත් සභා ක්‍රමයක් ව්‍යවස්ථා ගත කරනු ලැබීමටද පියවර ගනු ලැබුනත් එයද අදත් පවතින්නේ කවර බලයක් ඒවාට පැවරිය යුතුද යන විවාදාත්මක මට්ටමෙහිය.

Image caption සිය ප්‍රදේශවලට බලය විමධ්‍යගත කෙරෙන දේශපාලන විසඳුමක් උතුරේ දෙමළ ජනතාව ඉල්ලා සිටිති

නිදහසින් පසුව ඉන්දියාව මේතා කොමිසන් සභාවන්හි නිර්දේශ අනුව 'පංචායත් ක්‍රමය' මගින් ග්‍රාමීය මට්ටම දක්වා බලය විමධ්‍යගත කිරීමට පියවර ගනු ලැබුනත් ශ්‍රී ලංකාවේ පාලනය තවමත් සිටිනුයේ ඉන් බොහෝ දුරකය.

ඇතැම් ප්‍රතිවිපාක නරක නොවන්නේ දුක් පීඩා මැද හෝ අලුත් දිශාවකට එමගින් මිනිසා තල්ලු කරන හෙයිනි.

එම අර්ථයෙන් ගත්විට අප ලුහුඬින් සාකච්ඡාවට ගත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යුගලයත් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලා සිටින දේශපාලන සමාජයකට අවශ්‍ය සාධාරණය ඉටු නොකිරීමේ පලය තවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් දෙසට සමාජය තල්ලු කිරීමයි.

එහෙත් බොහෝ සාම්ප්‍රදායික සමාජයන්හි පොදු අත්දැකීම වන්නේ බලයේ සිටින පාලකයන් සිය දැක්ම ඇතුළත් එසේම සහ බලය පවත්වා ගැනීමට මග සලසන ව්‍යවස්ථා සම්පාදනයෙහි ශූරයන් වන බවයි.

එසේ නැතිව පවතින ආගම්වාදී එසේම බලය අසීමිත මට්ටමින් කේන්ද්‍රගත වූ ව්‍යවස්ථා සන්දර්භය තුළම තවත් ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරුනොත් එම දරුවා සමස්ත සමාජයේම ආදරය ලබන්නකු වේද?

අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට සැරසෙන පාලකයන් මුහුණ දෙන බරපතළම ගැටලුව පවතින ව්‍යවස්ථාවේ අනාගමික විරෝධී වගන්ති වලින් බැහැර වීමයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර