ශ්‍රී ලංකාව මානව හිමිකම් මණ්ඩල වාර්තාවේ සම අනුග්‍රාහකයකු වෙයි

Image copyright Sudath Silva
Image caption හියුගෝ ස්වයර් ඇමතිවරයා ශ්‍රී ලංකා ජනාධිපති හමුවේ

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 30 වැනි සැසි වාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නවතම යෝජනා කෙටුම්පතේ සම අනුග්‍රාහකයකු මට්ටමින් ක්‍රියා කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉදිරිපත් වීම පිළිබඳ ව බ්‍රිතාන්‍යය සිය ප්‍රසාදය පළ කර තිබේ.

නව වැඩ පිළිවෙලේ සම අනුග්‍රාහකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.

එම පියවර සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකාවේ නව වර්ධනය සම්බන්ධයෙන් නිවේදනයක් කරන විදේශ කටයුතු සහ පොදු රාජ්‍ය මණ්ඩලීය කටයුතු භාර එක්සත් රාජධානියේ ඇමති හියුගෝ ස්වයර් (Hugo Swire) පවසන්නේ එවැනි පියවරක් ගනු ලැබීම ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදය නිරාකරණය කර ගැනීම අතින් තබන ලද තවත් පියවරක් වන බවයි.

Image copyright harin
Image caption අගමැති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකා ආණ්ඩුව ඉහත කී කෙටුම්පතට සහයෝගය දක්වනු ලැබීම ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තවත් රටවල් කීපයක් විසින් ද අගය කරනු ලැබ ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණ නව කෙටුම්පත් ඉන්පෙර ඉදිරිපත් කොට තිබුණ යෝජනාවෙන් වෙනස් වෙන අතර ‘දෙමුහුන්’ අධිකරණයක් පිහිටුවීම පිළිබඳව නව කෙටුම්පතේ නො දැක්වෙයි.

ගෝලීය දෙමළ සංසදය

ගෝලීය දෙමළ සංසදයත් මෙම නව කෙටුම්පතට සහයෝගය පළ කරනු ලැබ ඇත.

‘2009 සිට තම සංවිධානය ඉල්ලා සිටි ආකාරයේ ජාත්‍යන්තර ස්වාධීන පරීක්ෂණයක් නොවුනත් ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන තත්වය ද සලකා බලා ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේදී සම්මත කර ගත් නව පරීක්ෂණයට සහය දැක්වීමට තම සංවිධානය තීරණය කොට ඇති බවයි ගෝලීය දෙමළ සංසදයේ නායක සුරේන් සුරේන්ද්‍රන් සිකුරාදා බීබීසී සංදේශයට කියා සිටියේ.

Image caption සුරේන් සුරේන්ද්‍රන්

දෙමළ ජනතාවගේ ඉඩම් ආපසු ලබා දීමට ගෙන ඇති පියවර අගය කළ ඔහු ජනතාවට බියක් සැකක් නොමැතිව ජීවත්වීමට හැකි පරිසරයක් නිර්මාණය කොට ඇති නිසා දෙමළ ජනතාව ද සෙසු ජාතීන්ද සහ ජීවනයෙන් යුතුව ජීවත් වීමට අවශ්‍ය අනාගත වැඩපිළිවලක් ආරම්භ කළ යුතු බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කළේ.