මුළු ලොවම මෛත්‍රී දෙස බලා සිටිනවා - බැංකි මූන්

Image copyright b

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් අනුගමනය කරනු ලබන වැඩ පිළිවෙළ කෙරෙහි ලෝකය බලා සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් බැංකි මූන් පවසයි.

මහලේකම්වරයා එම ප්‍රකාශය කළේ ඇමෙරිකානු වේලාවෙන් අද (26) සවස් භාගයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති සාකච්ඡාවක දී.

සාමය සඳහා වන එක්සත් ජාතීන්ගේ අරමුදලින් ශ්‍රී ලංකාවට ආධාර කිරීමට සූදානම් බවත් මහලේකම්වරයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට එම සාකච්ඡාවේ දී කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ඉලක්කය වන තිරසාර සංවර්ධන වැඩ සටහන කෙරෙහි ලෝකයේ අවධානය යොමු වෙමින් පවතින බවත් එම තිරසාර වැඩ සටහනේ පරමාර්ථ දාහත මුදුන් පත් කර ගනු ලැබීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සිය බලතල උපයෝගී කර ගත හැකි බවත් එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා සඳහන් කළ බවයි නිව්යෝර්ක් නගරයේ සිට බීබීසී සංදේශයට තොරතුරු ගෙනෙන ජනාධිපති මාධ්‍ය ඒකකයේ ප්‍රධානී ධර්ම ශ්‍රී ඒකනායක පවසන්නේ.

එසේම පසුගිය දා ලද මැතිවරණ ජයග්‍රහණ සම්බන්ධයෙන් මහලේකම් බැංකි මූන් ජනාධිපතිවරයාට ශුභ පතන ලද බවත් ධර්ම ශ්‍රී ඒකනායක පවසයි.

ජිනීවා යෝජනා

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සාමකාමී තත්වය ජිනීවා මානව හිමිකම් කොමිසමට දැනට ඉදිරිපත් කොට ඇති යෝජනා ක්‍රියාවට නැංවීමෙන් තවත් සහතික කර ගත හැකි බවයි මහලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත්තේ.

Image copyright b

ඊට ප්‍රතිචාර දැක්වූ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා කියා සිටියේ ‘රට තුළ සාමය වෙනුවෙන් තම උපරිම උත්සාහය දරන’ බවයි.

එසේම ‘තමා සාමයට ගරු කරන බවයි’ ජනාධිපතිවරයා මහලේකම්වරයාට දැනුම් දුන්නේ.

‘ශ්‍රී ලංකා සමාජය තුළ සංහිඳියාව ගොඩ නැගීමට දේශපාලන වැඩ පිළිවෙළක් අවශ්‍ය කරන බව මහලේකම් බැන්කි මූන් ඉහත කී සාකච්ඡාවේ දී සඳහන් කළ බවත් ධර්ම ශ්‍රී ඒකනායක පවසයි.

එවැනි සංහිඳියා වැඩ පිළිවෙලකට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගය ලැබෙන බවයි මහලේකම්වරයා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාට අවධාරණය කළේ.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අද (26) පාකිස්තාන් ජනාධිපති නවාෂ් ෂරීෆ් සහ මෝල්ටා අගමැතිවරයා සමගත් සාකච්ඡා කොට ඇත.