මිනිසාත් 'භාණ්ඩයක් බවට පත් වූ' සමාජයක්

Image caption 'මේ අහිංසක සේය දැරියගෙ සිදුවීමෙ සැකකරු දැන් හෙළි වෙමින් පවතිනවනෙ. ඔහු මළ මිනී සමග පවා ලිංගික ක්‍රියා සිදු කළ අයෙක්. මෙය සමාජයෙ හරිම සංකීර්ණ තත්ත්වයක්. මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි'

සේයා සදෙව්මි දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර ඝාතනය කිරීම වාර්තා කිරීමේදී මාධ්‍යයේ හැසිරීම ප්‍රශංසනීය නොවන බවත්, පිළිගත් මාධ්‍ය ආචාර ධර්ම උල්ලංඝණය කරමින්, අවම සදාචාරයක් හෝ පවත්වා නොගනිමින් ශ්‍රී ලංකාවේ බොහෝ ජනමාධ්‍ය ආයතන සිය සමාජ වගකීම පැහැර හැර ඇති බවත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් සහ සමාජයේ විද්වතුන්ගේ බහුතර අදහස බවට පත් වී තිබේ.

පසුගියදා කොළඹ නගරෝදය ශාලාවේදී තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය සංවිධානය කළ විද්වත් සංවාදයේදී මේ පිළිබඳව ගැඹුරින් සාකච්ඡාවට ලක් කෙරිණ.

ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම නියම කිරීමට පෙර ලිංගික අපරාධවලට එරෙහිව පවතින අවම දඬුවම් විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට ක්‍රමවේද සකස් විය යුතු බව සංවාදයට සහභාගි වූ විද්වතුන් හා ජනමාධ්‍යවේදීන් බහුතරයක ස්ථාවරය වී තිබිණ.

ශ්‍රී ලංකා ළමා ආරක්ෂක අධිකාරියේ උප සභාපති සජීව සමරනායක පැවසූයේ මිනිසා මිනිසා වශයෙන් එකිනෙකා ඇසුරු කිරීම නැවතී මිනිසුන් පාරිභෝජනය කරන භාණ්ඩ වශයෙන් එකිනෙකා හඳුනා ගැනීම සමාජයේ යථාර්ථය වන බවයි.

Image caption 'අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා'

ළමා හිංසනයේදී සහ ලිංගික හිංසනයේදී මාධ්‍යයේ සහ සමාජයේ පවතින තත්ත්වය මෙසේ පැහැදිලි කළේය.

"මා සාමාන්‍යයෙන් බොහෝ රූපවාහිනී, රේඩියෝ වැඩසටහන්වලට සහභාගි වුවත් තිබෙන ගැටලුව වන්නේ මාධ්‍යවේදීන් මනුෂ්‍යයින් වශයෙන් අප එකිනෙකා මුණ නොගැසීම. මෙය තමයි නිර්මානුෂීකරණය. අපුද්ගලීකරණය. එනම් මනුෂ්‍යයා මනුෂ්‍යයා යන්නෙන් ඉවත් කොට පාරිභෝජන භාණ්ඩයක් කිරීම. මනුෂ්‍යයින් එකිනෙකා මනුෂ්‍යත්වයෙන් කටයුතු කරන්න කැමති වුවත් එය සිදු වන්නේ නැහැ," සජීව සමරනායක පැවසීය.

"අපරාධ, දඬුවම්, වෙළඳපොළ යනාදී සියල්ල පිටුපස මනුෂ්‍යයින් තමයි සිටින්නෙ. මාධ්‍ය පීඩාකාරී, විනාශකාරී මෙවලමක් බවට අප පත් කර තිබෙනවා. මේක ව්‍යාජ සමාජයක්. ඒ සමාජය තුළ ළමාරක්ෂණය කරන්නේ කොහොමද යන්න අප සොයා බැලිය යුතුයි."

'ලේ කඳුළු'

මහජනතාවට පළමුව ඔවුන් මෙහෙයවීමේ ප්‍රධාන භූමිකාව උසුලන ජනමාධ්‍ය ලේඛක නාලක ගුණවර්ධන ගේ දැඩි විවේචනයට ලක්විය.

Image caption එකම පුවත්පත් සමාගමේ සිංහල සහ ඉංග්‍රීසි පුවත්පත් සේයාගේ සිදුවීම වාර්තාකරණයේදී ක්‍රියාත්මක වූ ආකාරයේ පරතරයද නාලක ගුණවර්ධන එහිදී පෙන්වා දුන් අතර සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බවද පෙන්වා දුණි

සමාජයේ මානසික සෞඛ්‍යයට පළමුව ජනමාධ්‍යයේ මානසික සෞඛ්‍ය පිළිබඳව ගැටලුවක් පැන නැගී ඇති බව ඔහුගේ අදහස විය.

''වෙළඳපොළ ඉහළ අලෙවියත් පහළ අලෙවියත් ඇති පත්තර ජුගුප්සාජනක විදිහට සේයාගේ සිද්ධිය උලුප්පා තිබීමෙන් පෙනෙන්නේ වෙළඳපොළ උවමනාව ඉක්මවා ලේ, කඳුළු හඹා යෑමේ තත්ත්වයක්. යුද සමයේ ඇබ්බැහිකම් පවත්වාගෙන යෑමක් රිය අනතුරු, අපරාධ වාර්තා කිරීම් මගින් පෙනෙන්නට තිබෙනවා."

සේයාගේ ඡායාරූප භාවිතයේදී සිංහල පුවත්පත් ආවේගශීලී වූ බව නාලක ගුණවර්ධන ගේ අදහස විය.

''මාධ්‍යයේ කුහකත්වය හා ආවේග ප්‍රකාශ කිරීම අවාසනාවන්ත තත්ත්වයකි. ආචාර ධර්ම යනු නීතිය අභිබවා අප තුළින් මතු විය යුතු සංවරතාවකි," ඔහු පැවසීය.

'සිංහල සහ ඉංග්‍රීසි'

Image caption 'ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා. නමුත් එහෙම වුණත් ඒ පිළිබඳ පිළිගත් පරීක්ෂණවල අඩුවීමක් වෙලා නැහැ'

ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා ලිංගික වද හිංසාවලට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ බරපතල තත්වය මෙසේ පෙන්වා දුන්නේය.

''මරණ දඬුවම යෝජනා කරගෙන ක්‍රියාත්මක කිරීමට ගේනවා නම් අනිවාර්යෙන්ම අන්තර්ජාතික සම්මුතීන් අපි උල්ලංඝණය කරනවා. 966 සිවිල් හා දේශපාලන නීති අපි අත්සන් කර පිළි අරගෙන තියෙනවා," ඔහු පැවසීය.

"නවසිය හතලිස් අටේ විශ්ව මානව හිමිකම් නීතිය අපි පිළිගන්නවා. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ මේවා අපි පිළි අරගෙන තිබෙනවා. අපි මේවා පිළි අරගෙන තියෙනවා නම් අපිට පුළුවන්ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න. ඇසට ඇස, ලෙයට ලෙය නීති තිබුණා, අරාබියෙ අදටත් අමු අමුවෙ බෙල්ල ගහලා දානවා," ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසීය.

"මේ සමාජය තුළමයි මේ සිදුවීම් වෙන්නෙ. මේ සිදුවීම් එක්ක සමාජයෙ හැඩ ගැසීම මොකක්ද කියා අප වටහා ගත යුතුයි. අප සිදුවීමක් වුණහම ඒ ගැන කතා කරනවා, එය ආයෙත් ලියලලා එනවා. නීති පද්ධතිය, සාක්ෂි එකතු කිරීම, සාක්ෂිවල ගති ලක්ෂණ ගැනීම් මීට වඩා වෙනස් වෙන්න ඕන. සිස්ටම් එකේ වෙනසක් නැතිව අපිට ඉස්සරහට යන්න බෑ.''

'ප්‍රතිවිරුද්ධ මත'

සංවාදයේදී අදහස් දැක්වූ හිරු රූපවාහිනියේ ප්‍රවෘත්ති අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී උපේන්ද්‍ර හේරත් කියා සිටියේ, දැරිය දූෂණය කර ඝාතනය කිරීම පියකු වශයෙන් තමා මහත් කම්පනයට පත් කළ සිදුවීමක් වූ බවයි.

"මම මාධ්‍ය උපමාන සහ ආචාර ධර්ම පිළිබඳව තදින් හිතන කෙනෙක්. නමුත් සේයාගෙ සිදුවීමෙදි මම ඒ සීමා අතික්‍රමණය කළා," උපේන්ද්‍ර හේරත් පැවසීය.

"මේ සිදුවීම හරහා ජනමතයක් හදා, පවතින ක්‍රමයට බලපෑම් කළ හැකි නම් අපි එය කළ යුතුයි. ඒ නිසා විවේචන මැද්දේ සමාජය තුළ කම්පනයක් ඇති කරන්නට අපි කටයුතු කළා. එහිදී අපි සාර්ථකයි."

එනමුත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයසිරි ජයසේකර පළ කළේ උපේන්ද්‍ර හෙරත්ගේ මතයට ප්‍රතිවිරුද්ධ මතයක්.

Image caption 'ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා'

''දරුවෙකු අපරාධයකට ගොදුරු වූ බව දැනගත් වහාම කලින් පළ කළාද, දැකලා තියෙනවද නැද්ද, කිසිම කතාවක් නැහැ. ඉන්පසු මේ පින්තූර ශිෂ්ඨ සමාජයක පළ කළ නොහැකියි," ජයසිරි ජයසේකර සඳහන් කළේය.

"ඒ දරුවා ලිංගික අපයෝජනයකට ගොදුරු කර ඇති බව දැනගත් තැන් සිට කිසිදු ශිෂ්ඨ මිනිහෙකුට ඒ දරුවාගේ පින්තූර පාවිච්චි කරන්න බැහැ. ඉතින් ඒ සිද්ධිය දැනගත් වහාම කොයිතරම් අශිෂ්ඨ මිනිහෙක් මේ රටේ සිටියද කියලා මුලින් දැනගත්තා වගේම අපේ රට කොච්චර අශිෂ්ඨයිද මිලේච්ඡයිද කියන කාරණය දැනගත හැකි වුණා. ඉන්පසු මේ රටේ හිටපු මිනිස්සු, ගැහැනු, උපාසක අම්මලා කොයිතරම් මිලේච්ඡයිද කොයිතරම් අශිෂ්ඨයිද කියන එක මුළු ලෝකෙටම පෙන්නුවා.''

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය රට අගාධයට හෙලන තවත් බරපතල ප්‍රශ්නයක් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිඹිරියාගම බණ්ඩාර ගේ විග්‍රහයයි.

Image caption 'ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ'

"මාත් එක්ක වැඩ කරන වෘත්තිකයන් එක්ක මා බැනගෙන තියෙනවා ඇයි පින්තූර දාන්නෙ, අයි දරුවගෙ නම දාන්නෙ, ඇයි ඔබට හෘද සාක්ෂියක් නැද්ද අසමින්. ඉස්සර දෙයියෝ සාක්කි, පිස්සු හැදෙන සඳ වැනි ශීර්ෂ යටතේ රටේ ඛේදවාචක පල වෙද්දි අපට කොයි තරම් ලැජ්ජාවක් ඇති වුණාද? ඒ නිසා තමයි ජනමාධ්‍යයට දෙයියන්ගෙ පිහිටයි කියා මැද පිටුවක් ලීවෙ," තිඹිරියාගම බණ්ඩාර පැවසීය.

"තවමත් අපට එය කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ආචාර ධර්ම හඳුන්වා දුන් කර්තෘ සංසදයම ආචාර ධර්ම කඩ කොට පල වූ ප්‍රවෘත්ති වලට සම්මාන දෙනකොට අපිට ඒවත් එක්ක රණ්ඩු කරන්න වෙලා තියෙන්නෙ. සමාජයෙන් බැහැර කළ මරණ දඬුවම එම සමාජයෙන් නැවත ඉල්ලනවා නම් එම සිදුවීම සමාජය මනින උණ කටුවක් විදිහට තමයි මම හිතන්නෙ."

Image caption 'මේ මිය ගිය දැරියගේ ඡායාරූප මේ වෙද්දි 15කට වඩා මාධ්‍ය භාවිතා කර තිබෙනවා. නිළියෙක්ගෙ ඡායාරූප දමනවා වගේ තමයි ඒවා දාන්නෙ'

''මම දැක්කා මේ සිද්ධියට සැක කළ එක් ගැටවරයෙකුගෙ ලැප්ටොප් එකේ අසභ්‍ය දේ තිබුණය කියලා රූපවාහිනී නිවේදිකාවක් ලෝකේ තිබෙන බරපතලම විපත වගේ නිවේදනය කරනවා. මුළු රටම සභ්‍ය වෙලා මේ වයස 17 දරුවගේ පර්ගණකයේ අසභ්‍ය දර්ශන තිබුණා මෙන් නිවේදනය කරනවා. මේ පරීක්ෂණ අතරෙදි මේ ශිෂ්‍යයා නිදහස් වුණොත් මේ කොල්ලා පාරෙ බැහැලා යන්නෙ අසභ්‍ය මිනිහෙකු හැටියට. වයස 17, 18 කොල්ලන්ගේ ලැප්ටොප්වල මේ වගේ දේවල් තිබෙනවා. ඒ නිසයි මාධ්‍ය කියන්නෙ ලොකු ප්‍රශ්නයක් කියන්නෙ."

ආචාර ධර්ම

ශ්‍රී ලංකාව තුළ වර්තමානයේ තිබෙන්නේ මාධ්‍ය ආයතන වශයෙන් නම් කළ ධනපතීන්ගේ ව්‍යාපාර ආයතන වීම හේතුවෙන් ඒවා තුළ මාධ්‍යවේදීන් සිටිය නොහැකි බව සාහිත්‍යවේදී විදර්ශන කන්නන්ගර ප්‍රකාශ කළේය.

ඔහුගේ අදහස වූයේ අසභ්‍ය දේ යටපත් කර පැවතිය යුතු ශිෂ්ඨාචාරගත සමාජයේ අසභ්‍යත්වයෙන් මිනිසුන් සංවිධානය වීම ආරම්භ කර ඇති බවයි.

"ෆ්‍රොයිඩ්ට අනුව අසහනය පවතින්නෙ ව්‍යභිචාරය වශයෙන්. ව්‍යභිචාරය මානව ඉතිහාසය පුරාම මිනිස් මනස තුළ පවතින්නක්. ගැටලුව වී තිබෙන්නෙ නූතනවාදී සමාජයේ ශිෂ්ඨාචාරය යටපත් වී ව්‍යභිචාරය සමග මිනිසා පිටත සමාජයේ කටයුතු කිරීමයි. මාධ්‍ය යන්න පසෙක තැබුවම සමාජය මෙහෙයවන ආචාර ධර්ම මොනවාද යන්නයි මා අසන්නේ," විදර්ශන කන්නන්ගර පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර