අනාථ කඳවුරුවලටත් ෆේස්බුක්

Image copyright PA

එක්සත් ජාතීන්ගේ පාලනය යටතේ පවතින අනාථ කඳවුරුවලට අන්තර්ජාල පහසුකම් ලබා දීම පිණිස ආධාර කරන බව ෆේස්බුක් සමාජ ජාලයේ නිර්මාතෘවරයා නිවේදනය කළේය.

නිවුයෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සමගාමීව පැවති සම්මන්ත්‍රණයක් අමතා කථා කළ මාක් සුකර්බර්ග්, අනාථයන්ට අන්තර්ජාල පහසුකම් ලබාදීම මගින් ආධාර ලබාගැනීමට මෙන්ම සිය පවුල්වල සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වා ගැනීමටද ඔවුන්ට අවස්ථාව සැලසෙනු ඇති බව කියා සිටියේය.

ලෝකයේ සෑම පුද්ගලයකුටම ඉදිරි වසර පහ ඇතුලත අන්තර්ජාල පහසුකම් ලබාදීමේ නව ව්‍යාපාරයකට ෆේස්බුක් ජාලයත් සම්බන්ධ වන බවත් ඔහු පැවසීය.

Image copyright EPA

සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ ඉලක්ක සපුරා ගැනීම පිණිස අන්තරජාලයට මහඟු කාර්යයක් කළ හැකි බව පවසන ෆේස්බුක් ජාලයේ නිර්මාතෘ මාක් සුකර්බර්ග්, එය ලෝකවාසීන් දිළිඳුකමෙන් මුදාගැනීමට උපකාර කරනු ඇති බවත් පැවසීය.

ලොව සියලු දෙනාට අන්තර්ජාල පහසුකම් ලබාදීමේ ව්‍යාපාරයට රොක් ගායක බෝනෝ, හොලිවුඩ් නිලි චාලිස් තෙරෝන්, සහ බිල් ගේට්ස්, රිචර්ඩ් බ්‍රන්සන් හා විකීපීඩියා ජාලයේ නිර්මාතෘ ජිමී වේල්ස් ඇතුළු පිරිසක් අත්සන් තබා තිබේ.

සිය ව්‍යායාමය සාක්ෂාත් කරගනු වස් ෆේස්බුක් ජාලය අනාථයන් පිලිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරයා සමඟ එක්ව කටයුතු කරන බවත් මාක් සුකර්බර්ග් වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright AP

ලොව පුරා වැසියන් කෝටි තුන්සියයකට අන්තර්ජාල පහසුකම් තිබෙන අතර, අනෙක් කෝටි හාරසියයට ද අන්තර්ජාල පහසුකම් ලබාදීම මෙම ව්‍යාපාරයේ අරමුණයි.