ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පියා හෝ ස්වාමියා මිය යාම සුදුසු කමක්ද?

හිටපු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ ඝාතනයෙන් පසු දේශපාලනයට පිවිසෙන ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන ළාබාලතම මන්ත්‍රීවරියයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරමින් දේශපාලනයට පිවිසී නමුත් පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ජයග්‍රහණය කිරීමට විපක්ෂයට එක් වන ඇය ඉන් පසු යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුණ හරහා එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ වී මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් විය.

කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල කාන්තා චරිතයක් වන රෝසි සේනානායක පරාජයට පත්වෙද්දී මනාප 70,584ක් ලබා එක්සත් ජාතික පක්ෂ ලැයිස්තුවේ දස වැනියා ලෙස ඇය පාර්ලිමේන්තුවට පත් වේ.

කාන්තාවන් 13 දෙනෙක් පමණක් නියෝජනය කරන මෙම පාර්ලිමේන්තුවේ කාන්තාවන් හා තරුණ ප්‍රජාවගේ ප්‍රශ්න පිළිබඳ තමන් කටයුතු කිරීමට සුදානම් බවයි ඇය බීබීසීයට පැවසුවේ.

"අද කාන්තාවකට දේශපාලනය එන්න එක්කෝ ඇය ප්‍රසිද්ධ චරිතයක් විය යුතුයි, නැතිනම් තමන්ගේ තාත්තා හෝ ස්වාමි පුරුෂයා මිය යන්න ඕනේ"

වැඩි වශයෙන් කාන්තාවන් පාර්ලිමේන්තු යවන ලෙස ඉල්ලා ගෙන ගිය වැඩසටහන් අසාර්ථක වී ඇති බව පැවසූ හිරුණිකා දේශපාලන සංස්කෘතියේ වෙනසකින් තොරව වැඩි කාන්තා නියෝජනයක් පාර්ලිමේන්තුවේ බලාපොරොත්තු විය නොහැකි බවත් සඳහන් කළාය.

(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට පළමුවරට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගත් පිරිසක් සමඟ බීබීසී සංදේශය පවත්වන සංවාද මාලාවක දෙවැන්නයි, මේ)