ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධුරය 'අහෝසි කරන්න'

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ ගේ මන්ත්‍රීධුරය අහෝසි කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමක් විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අවසර දුන්නේය.

අධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ගාලු දිස්ත්‍රික්කයේ ඡන්ද දායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

පෙත්සම පිළිබඳව ඔක්තෝබර් මස 19 වැනි දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන මෙන් අධිකරණය වග උත්තරකාර ගීතා කුමාරසිංහ, පොලිස්පති, ආගමන සහ විගමන පාලක ඇතුළු පිරිසකට නොතීසි නිකුත් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට තේරී පත්විය නොහැකි බව පෙත්සම්කරුවන්ගේ තර්කයයි.

වග උත්තරකාර ගීතා කුමාරසිංහ මන්ත්‍රීවරියට ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය හිමිවන බව පවසන පෙත්සම්කරුවන් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කිරීමක් බවට චෝදනා කරති.

ඒ පිළිබඳව මීට ඉහතදී ජනමාධ්‍ය වෙත දහස් දැක්වූ මන්ත්‍රීවරිය එම චෝදනාව ප්‍රතික්ෂේප කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර