ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ජයසූරිය වගේ වෙන්නේ නෑ - මාතර මන්ත්‍රී නිරෝෂන්

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්වුණු නවක මුහුණු අතරින් කැපී පෙනෙන චරිතයක් රුපවාහිනී නිවේදක නිරෝෂන් ප්‍රේමරත්න.

හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින්, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මාතර දිස්ත්‍රික්කයට තේරී පත්වුණු නිරෝෂන් ප්‍රේමරත්න මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙසින්.

ස්වාධීන රුපවාහිනී සේවයේ ප්‍රවෘත්ති අංශයේ වසර 15ක් සේවය කළ නිරෝෂන් ප්‍රේමරත්න, කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය රුපවාහිනී වැඩසටහනක් වන "චැට් & මියුසික්" හරහා ජනප්‍රියත්වයට පත්විය.

රාජපක්ෂ රජයට පක්ෂපාතීත්වය දැක්වීම හේතුවෙන් රාජපක්ෂ පාලනය පෙරලීමත් සමග ස්වාධීන රුපවාහිනී සේවයේ රැකියාව තමන්ට අහිමිවූ බව පවසන ඔහු ඉන්පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ රැළි මාලාවට දායකත්වය සපයමින් ප්‍රසිද්ධ දේශපාලනයට පිවිසියේය.

ඉන් අනතුරුව ප්‍රථම වරට මැතිවරණයකට තරග කරමින් මනාප 99,762ක් ලබාගත් නිරෝෂන් ප්‍රේමරත්න දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දෙවනියට වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයා ලෙසින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

මීට පෙර තම දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය, පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසුත් ජනතාවට සේවය කරනු වෙනුවට ක්‍රිකට් ක්‍රීඩාවට මුල්තැන දීම හේතුවෙන් නැවත තරග කිරීමට පවා නොහැකි තත්වයකට පත් වූ බවයි, නව මන්ත්‍රීවරයා බීබීසී සංදේශය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ.

එවැන්නක් තමන්ට සිදුනොවීමට වගබලාගන්නා බවත් ඔහු සඳහන් කළේය.

(ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් අතරින් තෝරා ගත් පිරිසක් සමඟ බීබීසී සංදේශය පවත්වන සංවාද මාලාවක පළමුවැන්නයි, මේ)