ජිනීවා මාධ්‍ය වාරණයක් - විමල්

Image copyright Dinesh Gunawardena
Image caption 'ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව හවුල්වීම මහා පාවාදීමක්'

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කරන යෝජනාවට ආණ්ඩුව හවුල්වීම 'මහා පාවාදීමක්' බව මහජන එක්සත් පෙරමුණේ නායක දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

එබැවින් එයට හවුල් වීමෙන් වැලකී සිටින ලෙස රජයට බල කර සිටින බව මන්ත්‍රීවරයා සඳහන් කළේ, කොළඹ අභයාරාමයේ සංවිධානය කර තිබුණු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහාය දැක්වූ පක්ෂ එකමුතුවේ මාධ්‍ය හමුවක් අමතමින්.

ජිනීවා යෝජනාවේ කරුණු ජනතාව වෙත ඉදිරිපත් නොකරන ලෙස ජනමාධ්‍යයට බලපෑම් කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් විරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළේය.

අභියෝගයක්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණු යෝජනාව ශ්‍රී ලංකාව හා ඇමරිකා එක්සත් ජනපදයේ හවුල් යෝජනාවක් බැවින් එය ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයක් බවයි රජයේ මතය වී තිබෙන්නේ.

Image copyright wimal weerawansa
Image caption 'අගමැතිවරයාගේ මතය වගේම අනික් අයගේ මත වලටත් ඉඩ දෙන්න කියලා අපි ඉල්ලනවා'

කෙසේ වෙතත් මාධ්‍ය හමුවේදී ඒ පිළිබඳව විපක්ෂයේ නියෝජිතයන්ගෙන් එල්ල වූයේ දැඩි විවේචනයක්.

"අපි ජනමාධ්‍ය ආයතනවලින් කාරුණිකව ඉල්ලා සිටිනවා, අගමැතිවරයාගේ දබර ඇඟිල්ලට යටත් වෙන්නේ නොමැතිව මේ රටේ පොදු ජනතාවට මේ වැදගත්ම ජාතික ප්‍රශ්නයේ කරුණු වාර්තා කරන ලෙස," ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මන්ත්‍රීවරයා පැවසීය.

"අගමැතිවරයාගේ මතය වගේම අනික් අයගේ මත වලටත් ඉඩ දෙන්න කියලා අපි ඉල්ලනවා."

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනා පරීක්ෂා කිරීමට පත්කරන බව පවසන විශේෂ අධිකරණය සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන ලෙස වීරවංශ මන්ත්‍රීවරයා ආණ්ඩුවට අභියෝගයක්ද කළේය.

එහෙත් එම චෝදනාව ප්‍රතික්ෂේප කළ අගමැති කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ, ජිනීවා යෝජනාව සම්බන්ධයෙන් නොව කිසිදු කාරණයක් සම්බන්ධයෙන් අගමැතිවරයා ජනමාධ්‍යයට බලපෑමක් සිදු කර නොමැති බවයි.

ජිනීවා යෝජනාව පිළිබඳව කරුණු පැහැදිලි කරදීම් වස් අගමැතිවරයා පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් සමග සුහද සාකච්ඡාවක් පැවැත්වූ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර