ලිංගික හිංසනය සිදුවන්නේ 'සමාජයේ ආකල්ප නිසා'

විද්‍යා සිවලෝගනාදන්, සේයා සදෙව්මිණි සහ කේසර කහඳලියනගේ යන දරුවන්ගේ නම් මෑතදී ශී‍්‍ර ලංකාවේ පුවත් ශීර්ෂ පාඨයන් සැරසුවේ ඉතා ඛේදනීය වූ හේතු පාදක කරගනිමින්.

ඔවුන් තිදෙනා මෙන්ම අප‍්‍රමාණ වූ තවත් දරුවන්, කාන්තාවන් සහ පුරුෂයන් පිරිසක් ඇතැම් විට සිය මරණයෙන් පවා කෙළවර වූ ඉතා නින්දිත සහ අතිශය කෲර ආකාරයේ ලිංගික හිංසනයන්ට ගොදුරුව වින්දිතයින් බවට පත්වී සිටිති. මෙම හිංසනයන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් (Gender Based Violence - GBV) ගණයෙහි ලා ද සැළකේ.

මෙකී හිංසනයන් විසින් මේ වන විටත් විද්‍යා සහ සේයාගේ අහිංසක ළමා විය මෙන්ම ජීවිත ද උදුරා ගෙන හමාරය. ඔවුන්ගේ එම කටුක අත්දැකීම් හමුවේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිටුදැකිය යුත්තේ කෙසේ දැයි යන්න පිළිබඳව ශී‍්‍ර ලංකාව තුල විවාදයක් මතු වී තිබේ.

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් පිළිබඳ ගැටලුව හුදෙක් බටහිර ලෝකයෙන් මතු වූ ප්‍රවණතාවයක් නොවේ. එය අප අතර ද බහුලව දැකිය හැකි අපරාධයකි.

විශේෂයෙන්ම, දකුණු ආසියානු සංස්කෘතිය විසින් අපේ යුගයේ මෙම නින්දිත රහස සහ සමාජීය වසංගතය වසන් කිරීම මෙතෙක් සමත් වී තිබෙන බව පැහැදිලිය. සැබවින්ම මෙය ලෝක ව්‍යාප්ත ගැටලුවකි.

කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ වාර්තාකාරිනී මහාචාර්ය රෂිඩා මන්ජෝ විසින් මෑතකදී ප‍්‍රකාශ කරන ලද පරිදි, ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විශේෂයෙන්ම කාන්තාවන්ට හා ගැහැණු ළමුන්ට එරෙහි හිංසනය 'කාන්තාවන් සහ ගැහැණු ළමුන් සිය නිවෙස් සහ ප‍්‍රජාවන් තුල දෛනිකව අත්විඳින බිහිසුනු ගැටුමක්' ලෙස සැළකිල්ලට යොමු විය යුතුය.

'ලිංගික හිමිකාරත්වයක්'

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් මෙම හිංසනය, විවිධ සමාජයන් විසින් සිය ප‍්‍රජාවන් තුල කාන්තාවන් සහ ගැහැණු ළමුන් අසමානයන් ලෙසින් සැලකීමේ ප‍්‍රතිඵළයකි. පවතින පුරුෂාධිපතිවාදී රටාව තුල, මෙය පුරුෂයන් සිය බලය කාන්තාවන් හා ගැහැණු ළමුන් කෙරෙහි ප‍්‍රචණ්ඩකාරී ලෙස මුදා හැරීමකි.

කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට එරෙහි හිංසනයේ පවතින තත්වය සම්බන්ධයෙන් Care Sri Lanka ආයතනය 2103 දී එලි දක්වන ලද සමීක්ෂණ වාර්තාවකට අනුව ශී‍්‍ර ලංකාවේ තෝරාගත් දිස්ති‍්‍රක්ක හතරක නියැදියකින් 14% ක පිරිමින් පිරිසක් තමන් ස්තී‍්‍ර දූෂණය ඇතුළු ලිංගික හිංසනයන් සිදුකර ඇති බව පිළිගෙන තිබේ.

Image copyright Reuters

එම නියැදියේ පිරිමින් ගෙන් අඩකට වැඩි පිරිසක් ඔවුන්ට එසේ කිරීමට ලිංගික හිමිකාරත්වයක් ඇතැයි හැඟුණු බව පැවසූහ.

මෙසේ ස්තී‍්‍ර දූෂණ ඇතුළු ලිංගික හිංසන වල නියැලූණු බවට පිළිගත් පුද්ගලයින්ගෙන් තුනෙන් එකක්ම සිය ගැටවර වියේදී ප‍්‍රථම ලිංගික දූෂණය සිදු කිරීමට පෙළඹුණු බව ප‍්‍රකාශ කර තිබීම බිහිසුණු තත්වයකි.

ස්තී‍්‍ර දූෂණවල නියැලූණු පිරිමින්ගේ නියැදියෙන් අඩකට වැඩි පිරිසක් ප‍්‍රථම වතාවට එම අපරාධය සිදු කර තිබෙන්නේ බොහෝ විට විවාහ දිවියට ඇතුළු වන වයස වන අවුරුදු 20-29 අතරතුර වයස් කාලයේදී.

නීතිය සහ ආකල්ප

දිස්ති‍්‍රක්ක හතරෙහිම මෙම සෑම පිරිමියෙක්ම පාහේ ඔවුන් සිදු කළ ස්තී‍්‍ර දූෂණ අපරාධය සම්බන්ධයෙන් කිසිදු නීතිමය විපාකයකට හෝ දඬුවමකට මුහුණ පා නොතිබීම භයානක තත්වයකි.

ස්ත්‍රී දූෂණය ඇතුළු ලිංගික හිංසනය සඳහා නීතියෙන් දඬුවම් නොලබා, වරදකරුවන් සමාජයේ නිදහසේ සිටීම ශ‍්‍රී ලංකාවේ ඉතා ඉහළ මට්ටමක පවතින බවයි එයින් පෙනී යන්නේ. විශේෂයෙන්ම, ශ්‍රී ලංකාවේ අධිකරණ විසින් ස්ත්‍රී දූෂකයන්ට අත්සිටවූ සිරදඬුවම් නියම කිරීම හේතුවෙන් කාන්තාවන් සහ දරුවන් වැඩි වැඩියෙන් ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයට පාත්‍රවීමේ අවදානමක් පවතී.

ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය විසින් වෛවාහික දූෂණය ලිංගික අපරාධයක් ලෙස හඳුනා නොගැනීම හමුවේ නීතිය බලාත්මක කරන නිළධාරීහු මෙම හිංසනය 'බරපතළ හිංසනයක්’' ලෙස නොදකිති.

එසේම කාන්තා මූළික පවුල් සහ හමුදාමය භට පිරිස් අධික වශයෙන් සැරිසැරීම හරහා වන උතුරුකරයේ අත්දැකීම්, දිළිඳු ජීවන මට්ටම් ඇතුළු වතුකරයේ පසුබිම, සනීපාරක්‍ෂාව සහ විවිධ සංස්කෘතිකමය සම්ප‍්‍රදායන්හි ව්‍යාප්තිය මෙන්ම නුපුහුණු කාන්තා ශ‍්‍රමිකයින් සිය වෘත්තීන් සඳහා සිය නිවස්නයන් හා හුරු පුරුදු ප‍්‍රජාවෙන් නික්මී අභ්‍යන්තර හා බාහිර වශයෙන් සංක‍්‍රමණය වීමේ දී පවතින අඩු ආරක්‍ෂාව ආදී කාන්තාවන් සහ ගැහැණු ළමුන් කෙරෙහි වන අවදානම් සහගත තත්වයන් ඉහළ නංවන පරිදි වූ මෙම සන්දර්භය හා සබැඳි විශේෂිත සමාජ ස්ථරයන්ද තිබේ.

පිරිමින්ට එරෙහි ලිංගික හිංසනය

කේසරගේ සිදුවීම ද ශ්‍රී ලංකාවේ නීති පද්ධතිය පිරිමියෙකුට මෙන්ම විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයෙකුට එරෙහිව සිදුවන යම් ලිංගික අපරාධයක් පිළිබඳ නිසි, සාධාරණ හා යුක්ති සහගත මැදිහත්වීමකට සූදානම් නැති බව පෙන්නුම් කරන්නකි.

ඔහු සිව් මසක් පුරා පිට පිටම දූෂණයට ළක් වීමේ බරපතළ කාරණය නොසළකා හැර සිද්ධියට අදාළ අපරාධකරුවන් ඇප පිට මුදා හැර තිබේ.

මෙම විනිසුරු තීරණය පිරිමින් අත්දකින ලිංගික හිංසනයන් නීතියේ සමාන ආරක්‍ෂාව ලැබීමට තරම් සැළකිය යුතු කාරණයක් නොවන බවට ඔහු තුල පවතින ස්වයං විශ්වාසය පිළිඹිබු කිරීමක් ද? කළ යුත්තේ කුමක්ද?

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනයන් කිසිසේත්ම නොඉවසන පරිසරයක් නිර්මාණය කිරීම සඳහා පහසුකම් සැපයීමේ විශාළ කර්තව්‍යක් රජය, නීති සම්පාදකයින්, සෞඛ්‍ය සේවා සපයන්නන් සහ සිවිල් සමාජය අභියස පවතී.

එමෙන්ම ප‍්‍රමාණවත් නීතිමය හා මනෝ සමාජීය ප‍්‍රතිචාරයන් දැක්වීම පිළිබඳ වූ ඉතා වැදගත් භූමිකාවක් ද සෑම පුද්ගලයෙකුම සතුව පවතී.

"ඔබ කිසිවෙකු වෙත එක් ඇඟිල්ලක් දිගු කරන විට ඔබේ අනෙක් ඇඟිලි තුන ඔබ වෙතම එල්ල වනු ඇත," යන ආප්තෝපදේශය ප්‍රකාර කාන්තාවන්, ගැහැණු ළමුන්, දරුවන් සහ ආබාධිත පුද්ගලයින්ද සමානව සැළකිය යුතු බවට තමන් විශ්වාස කරන්නේදැයි සියලු දෙනා තමන්ගෙන්ම විමසිය යුතුය.

Image copyright

මෙවැනි හිංසනකාරී ආකල්ප දරමින් ප‍්‍රචණ්ඩ හැසිරීම් පළ කරන සිය මිතුරන්, පුතුන් හෝ සගයින් කෙරෙහි සිය විරුද්ධත්වය පළ කරන්නේද? යන කරුණු ගැන සෝදිසි කළ යුතුය.

ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගත් හිංසනය ශී‍්‍ර ලංකාවෙන් අතුගා දැමීමට සැබෑ අවශ්‍යතාවයක් පවතින්නේ නම් මේ ව්‍යාධිය පිළිබඳ වගකීම අප සෑම දෙනා විසින්ම භාරගත යුතුය.

(කමණි ජිනදාස නිව්යෝර්ක් නුවර ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික කාන්තාවකි. මේ ලිපිය ඇයගේ පුද්ගලික අදහස වන අතර, එය කිසිසේත් ම ජාත්‍යන්තර මුදවා ගැනීමේ කමිටුවේ හෝ බීබීසී යේ මතය නියෝජනය නොකරයි.)

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර