ඡන්ද විමසීමකින් තොරව ජිනීවා යෝජනාව සම්මතයි

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක මූලිකත්වයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ගෙන ආ යෝජනාව ඡන්ද විමසීමකින් තොරව සම්මත වෙයි.

ඡන්ද විමසීමක් අවශ්‍යදැයි සභාපතිවරයා විමසූ අවස්ථාවේ දී සභාවෙන් ඊට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කරනු ලැබූ මෙම යෝජනාවට තවත් අතිරේක රටවල් 25ක් සම අනුග්‍රහය දක්වා තිබේ.

Image caption මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස් සෙයිඩ් අල් හුසේන් කුමරු

විදෙස් සහයෝගය

ශ්‍රී ලංකාව අතීත සිදුවීම් පිළිබඳව පරීක්ෂණයක් කිරීම සඳහා එකඟතාව පළ කිරීම අගය කරමින් දකුණු අප්‍රිකාව මෙහිදී කතා කළේය.

ඒ සඳහා පුර්ණ සහයෝගය ලබා දීමට දකුණු අප්‍රිකාව ප්‍රතිඥා දුන්ණේය.

එක්සත් රාජධානියේ නියෝජිතයා කතා කරමින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිව් වතාවක් මෙවැනි යෝජනා ගෙන ආ නමුත් ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දැක් වූ ප්‍රථම අවස්ථාව මෙය බවයි.

ශ්‍රී ලංකාවේ නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පැසසුමට ලක් කරමින් ඝානා රාජ්‍යය සභාව අමතා ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ඇතිව ශ්‍රී ලංකාව මෙම දේශීය පරීක්ෂණය ඉටු කරන බව එක්සත් ජාතින්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ යෝජනාව සම්මතවීමට පෙර සභාව ඉදිරියේ පැවසීය.

Image copyright Sunanda Deshapriya
Image caption පසුගියදා මහා මණ්ඩලය ඇමතු විදේශ ඇමති මංගල සමරවීර

එක්සත් ජනපදය

ශ්‍රී ලංකාවේ දුෂණ විරෝධී ක්‍රියාකාරකම් ඉදිරියට ගෙන යාමට පවා මෙම යෝජනාව පිටුවහලක් වනු ඇති බවට එක්සත් ජනපදය මෙහිදී ප්‍රකාශ කිරීම විශේෂ දෙයක් බවයි ජිනීවා නුවර සිටින මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය බීබීසීයට කියා සිටියේ.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙන ආ යෝජනාව ගැන කතා කිරීමේදී එක්සත් ජනපදය මීට පෙර එවැනි ප්‍රකාශයක් සිදු කර නැති බව ඔහු පවසයි.

එල්ටීටීඊ සංවිධානය යුද අපරාධ සිදු කොට ඇති බවට පිළිගනිමින් මෙම යෝජනාව කෙටුම්පත් කර තිබීම තුලින් ශ්‍රී ලංකා රජයට ඉදිරියේදී වාසි සහගත තත්වයක් උදා කළ හැකි බව ද සුනන්ද දේශප්‍රිය පැවසීය.

‘අද සම්මත වූ යෝජනාවේ පැහැදිලිවම පිලි අරගෙන තියෙනවා කොටි සංවිධානය අපරාධ කළ බවට. නමුත් ලංකාවේ හමුදාව ගැන කතා කරද්දී කියල තියෙන්නේ ‘සිදු වූ යැයි කියනු ලබන වැරදි’ වශයෙන්. මේ යෝජනාව දැනටම තීරණයකට එළඹිලා තියෙන බව පේනවා කොටි සංවිධානය අපරාධ කළ බවට.ඒක ශ්‍රී ලංකා රජයට දේශපාලන වශයෙන් වාසියක් වෙන්න පුළුවන්.’ ඔහු ප්‍රකාශ කළේය.