ශ්‍රී ලංකාවේ නව ව්‍යවස්ථාව සහ අධිරාජ්‍යවාදී සංකේත

Image caption කතානායකවරයාගේ නිල හිස් වැසුම සහ ලෝගුව යටත්විජිත සමය සිහිපත් කෙරෙන එක් සංකේතයක්

ශ්‍රී ලංකාවට නවතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර රට තුලදී මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව හමුවේද ප්‍රතිඥා දී තිබේ.

බීබීසී සංදේශයේ උපාලි ගජනායක විග්‍රහ කරන පරිදි මෙය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව දශක හයක් ඇතුලත ශ්‍රී ලංකා රාජ්‍යය සම්පාදනය කරන සිවු වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය ඇතැම්විට ලෝක වාර්තාවක්ද විය හැකියි.

අධිරාජ්‍යවාදයෙන් නිදහස ලබා දශක හයක් සහ ජනරජයක් බවට පත්ව දශක හතරකට පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍යය තවදුරටත් යටත්විජිතවාදයේ නෂ්ඨාවශේෂ තබාගත යුතුද?

විශේෂ උත්සව අවස්ථාවන්හිදී කතානායකවරයා පළඳින හිස් වැසුම සහ නිල ලෝගුව යටත්විජිත සමය සිහිපත් කෙරෙන එවැනි එක් සංකේතයක්.

Image copyright getty
Image caption 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙරෙන තුරු සියලුම කතානායකවරු නිල හිස් වසුමෙන් සහ ලෝගුවෙන් සැරසුණහ

1948 දී නිදහස ලැබීමෙන් අනතුරුව 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කෙරෙන තුරු සියලුම කතානායකවරු ඒ නිල ඇඳුමෙන් සැරසුණහ.

එනමුත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනිය ප්‍රමුඛ ආණ්ඩුව ජනරජ ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමඟ එතෙක් නිල හිස් වැසුමෙන් සහ ලෝගුවෙන් සැරසුන එවක කතානායක ස්ටැන්ලි තිලකරත්න එය භාවිත කිරීම අත් හළේය.

කතානායක නිල හිස් වැසුම සහ ලෝගුව යළිත් භාවිතයට පැමිණියේ ජේආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ ආණ්ඩුව 1978 ව්‍යවස්ථාව සම්මත කිරීමත් සමගයි.

ඊඑල් සේනානායක, එම්එච් මොහමඩ්, බකීර් ඒ මාකර්, කේබී රත්නායක, අනුර බණ්ඩාරනායක, ජෝසප් මයිකල් පෙරේරා, චමල් රාජපක්ෂ සහ කරු ජයසූරිය යන කතානායකවරුන් සියලු දෙනාම උත්සව අවස්ථාවන්හිදී එම නිල ඇඳුමෙන් සැරසුන බව සන්ඩේ ටයිම්ස් පුවත්පතේ පාර්ලිමේන්තු වාර්තාකාරිනිය චාන්දනී කිරින්දේ සිහිපත් කරන්නීය.

විජමු ලොකුබණ්ඩාර හිටපු කතානායකවරයා පමණක් උත්සව අවස්ථාවන්හිදීත් සැරසී සිටියේ ජාතික ඇඳුමෙන්.

Image copyright
Image caption බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවා කලෙක සිට නිල හිස්වැසුම පැළඳීමෙන් වැලකී සිටියි

"මම හිතන්නේ ඔය හිස් නිල වැසුමයි, ලෝගුවයි අද යුගයට අවශ්‍ය නෑ," ඒ චාන්දනී කිරින්දේ ගේ අදහස.

දැනට දශක ගණනාවක සිට ඉන්දීය පාර්ලිමේන්තුවේ කතානායකවරයාද යටත්විජිත සංකේතවලින් සැරසීමෙන් වැලකී සිටින අතර, එම නිල ඇඳුම් හඳුන්වා දුන් බ්‍රිතාන්‍ය වෙස්ට්මින්ස්ටර් පාර්ලිමේන්තුවේ කතානායකවරයා පවා කලෙක සිට නිල හිස්වැසුම පැළඳීමෙන් වැලකී සිටියි.

කෙසේ නමුත් උත්තරීතර පාර්ලිමේන්තුවේ ගෞරවය ආරක්ෂා කිරීම පිණිස එවැනි සම්ප්‍රදායයන අවශ්‍ය බව හිටපු කතානායක ජෝසප් මයිකල් පෙරේරා ගේ අදහසයි.

"පාර්ලිමේන්තුව කියන්නේ සුවිශේෂ ස්ථානයක්. අධිකරණය ගැන හිතුවොත් අධිකරනයටත් වඩා ඉහලින් පාර්ලිමේන්තුව තියෙන්නේ," හිටපු කතානායකවරයා බීබීසී සංදේශයට පැවසීය.

Image copyright EPA
Image caption 'පාර්ලිමේන්තුව කියන්නේ සුවිශේෂ ස්ථානයක්. අධිකරණයටත් වඩා ඉහලින් පාර්ලිමේන්තුව තියෙන්නේ'

ව්‍යවස්ථාව සහ අනපතත් සම්පාදනය කිරීම වැනි භාරදූර කාර්යයන්හි යෙදෙන පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය ආරක්ෂා කිරීමේ වගකීම පැවරෙන කතානායක පදවියේ ගෞරවය සුරැකීම් වස් එම පදවියට එවැනි නිල ඇඳුමක් අවශ්‍ය බව සිය මතය වුවත්, එය යටත්විජිත යුගයේ නිල ඇඳුමම විය යුතු යයි තමන් අදහස් නොකරන බවත් ජෝසප් මයිකල් පෙරේරා හිටපු කතානායකවරයා වැඩිදුරටත් පැවසීය.

පාර්ලිමේන්තුවේ සහ පළාත් සභාවල භාවිත කෙරෙන සෙංකෝලයද බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයෙන් ලද සංකේතයක්.

බොහෝ යටත්විජිත සංකේත අත්හල ඉන්දීය පාර්ලිමේන්තුවේත් තවමත් සෙංකෝලය භාවිත කෙරෙන අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුලත් එය භාවිතා කිරීම පිළිබඳව ප්‍රබල විරෝධයක් ඇති හැඩක් නොපෙනේ.

අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවන් සහ ජනාධිපති නීතිඥවරුන් භාවිත කරන නිල ඇඳුම් නිදහස් ශ්‍රී ලංකාවේ තවමත් භාවිතා කෙරෙන යටත්විජිතවාදයේ සංකේතයන්.

Image caption හිටපු කතානායක ජෝසප් මයිකල් පෙරේරා (වමේ) සහ වත්මන් කතානායක කරු ජයසූරිය (දකුණේ)

ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමත් සමඟ අධිකරණ ක්ෂේත්‍රයේ ද නිල හිස් වැසුම ඉවත් කෙරිණ. ජනාධිපති නීතිඥ පදවියක් නොතිබුන එකල ඉහලම පදවිය ලෙස සැලකුනේ 'ජ්‍යෙෂ්ඨ නීතිඥ' පදවියයි.

ජනාධිපති නීතිඥ පදවියක් හඳුන්වා දෙන ලද්දේ 1978 ව්‍යවස්ථාවත් සමඟයි. විනිසුරුවරුන් නිල ඇඳුම්වලින් සැරසුන නමුත් නීතිඥයන් නිල හිස් වැසුම් පැළඳීමේ සම්ප්‍රදායයක් එතෙක් ක්‍රියාත්මක නොවින.

"ඇත්තටම විග් එක (නිල හිස් වැසුම) කොහෙත්ම අවශ්‍ය නෑ," ඒ නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ.

යටත්විජිත සමයේ නිල හිස් වැසුම තිබුණත්, නොතිබුණත් නව ව්‍යවස්ථාවක් සමගම ශ්‍රී ලංකාවට මේ මොහොතේ අවශ්‍ය වන්නේ ස්වාධීන අධිකරණයක් බව ඔහුගේ අදහසයි. නිල හිස් වැසුම ඉවත් කිරීමෙන් පමණක් එවැනි අධිකරණයක් පිහිටවෙනු ඇත්ද යන්න ප්‍රශ්නයක් බවත් මානව හිමිකම් නීතිවේදියා බීබීසී සංදේශයට පැවසීය.

"ඒ නිසා තමයි ජිනීවා මානව හිමිකම් කවුන්සිලය හයිබ්‍රිඩ් උසාවියක් පිහිටුවන්න කියල නිර්දේශ කරලා තියෙන්නේ. මේ රටේ අධිකරණය ස්වාධීන නැති නිසා; නීතිවේදීන් ස්වාධීන නැති නිසා," නීතිවේදී චන්ද්‍රපාල කුමාරගේ වැඩිදුරටත් පැවසීය.

Image copyright PTI
Image caption ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පවතින්නේ බොහෝ ලිහිල් ආකල්පයක්

කතානායකවරයාගේ නිල හිස් වැසුම සහ ලෝගුව මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණීමේදී සැරසිය යුතු ඇඳුම් පිළිබඳව මන්ත්‍රීවරුන්ට පණවා තිබෙන විධිවිධානද වර්තමානයට කොතරම් ගැලපෙන්නේද යන්න ප්‍රශ්නයක්.

උදාහරණයක් ලෙස ටයි, කෝට් වැනි බටහිර පන්නයේ නිල ඇඳුමෙන් හෝ ජාතික ඇඳුම, සාරිය හෝ ආගමික ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තු පැමිණීමට අවසර තිබුණත් වෙනත් කිසිදු ඇඳුමකින් සැරසීම තහනම්.

වරක් ෂල්වාර් ඇඳුමකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත්‍රීවරියකට සභාවෙන් පිටවන මෙන් නියෝග කළ අවස්ථාවක් මීට වසර කිහිපයකට ඉහතදී සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කළේය.

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය වන ඉන්දියාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇඳුම සම්බන්ධයෙන් පවතින්නේ ඊට වඩා බොහෝ ලිහිල් ආකල්පයක්.

චාන්දනී කිරින්දේ වාර්තා කරන ආකාරයට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නිල ඇඳුම සම්බන්ධ විධිවිධාන අවසාන වරට සංශෝධනය වී තිබෙන්නේ 1973 දී.

ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කරමින් සහ අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම සුළු ජාතීන්ගේ අයිතිවාසිකම් සහතික කරමින්, ශ්‍රී ලංකාවට නව ව්‍යවස්ථාවක් හඳුන්වා දීමට සැරසෙන මොහොතක සමාජයේ තවමත් භාවිත කෙරෙන යටත්විජිත සමයේ සංකේත ගැනත් යළි සිතා බැලිය යුතු නොවේද?

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර