ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සර්ව පාක්‍ෂික සමුළුවකට ජනපතිගෙන් ආරාධනා

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම මගින් ඉදිරිපත් කරන යෝජනා පිළිබඳව උනන්දුවක් දක්වන සියලු පිළිගත් දේශපාලන පක්ෂවල හමුවක් කැඳවීමට පියවර ගන්නා බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපතිවරයා එම අදහස් පළ කළේ එක්සත් ජාතීන්ගේ මහාමණ්ඩල සැසි වාරයට සහභාගී වී සියරට ලඟා වීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (02) සවස පැවති මාධ්‍ය හමුවකදී.

‘මේ රටේ සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට මම ආරාධනා කරනවා සර්ව පාක්ෂික දේශපාලන නායකයන්ගේ හමුවක් සඳහා. ඉදිරිපත්ව ඇති යෝජනා පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමට’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

Image copyright President Office
Image caption ජනාධිපති මාධ්‍ය හමුවට අගමැතිවරයාත් එක් විය.

සියලු දේශපාලන පක්ෂවල අදහස් සැලකිල්ලට ගන්නා බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

ආගමික නායක සමුළුවක්

දේශපාලන පක්ෂවල පමණක් නොව මානව හිමිකම් කොමිසමේ යෝජනා ගැන මතය විමසීමට සියලුම ආගම් වල නායක සමුළුවක් ද කැඳවන බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.

‘එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසන් වාර්තාව මම ජනාධිපතිවරයා විධියට සැලකිල්ලට ගන්නේ උපේක්ෂා සහගතව. මධ්‍යස්ථ භාවයකින්. යෝජනා ක්‍රියාවට නැංවීම, එවිට පැන නගින ගැටළු දුෂ්කරතා වේ නම් අපි ඒවා යළිත් මානව හිමිකම් කොමිසමට යොමු කරනවා. පියවරින් පියවර මේ වැඩ පිළිවෙළ පෙරට ගෙන ගොස් රටේ ජනතාව මුහුණ දී සිටි මහා විපතක් මහා ඛේදවාචකයක් අවසානයකට ගෙන ඒමට මමත් අගමැතිතුමා සහ ආණ්ඩුවත් කටයුතු කරන බව කියනවා’ ජනාධිපතිවරයා අවධාරණයෙන් කියා සිටියේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව

Image copyright Sudath Silva
Image caption ජනාධිපති සහ ශ්‍රී ලංකා දූත මණ්ඩලය මහා මණ්ඩලයේ

උද්ගත වී ඇති ප්‍රශ්නය අහිංසාවාදීව යුක්තිසහගතව එමෙන්ම නීතිගරුක ලෙස විසඳන බවයි ජනාධිපතිවරයා පවසන්නේ.

එසේම මේ සියල්ල සිදු විය යුත්තේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව බව තමා අවධාරණය කරන බවයි ඔහු කියා සිටින්නේ.

‘රටේ ස්වාධීනත්වය ස්වෛරීත්වය කිසිදු ආකාරයකින් ප්‍රශ්න කරනු ලැබීමකට ඉඩ නොතබායි මේ කාර්යය ඉටු කරන්නේ’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වැරදි කළ බවට චෝදනා ලබන ආණ්ඩුවේ හමුදාවල මෙන්ම කොටි සංවිධානයේ සාමාජිකයන්ට ද අධිකරන විභාගයකදී ඔවුන්ගේ නිදහසට කරුණු කිව හැකි බවයි ඔහු සඳහන් කළේ.

ත්‍රස්තවාදය මැඩලීම

Image caption මහා මණ්ඩලය අමතා එන ජනපති පිළිගැනීමේ ප්‍රචාරක පුවරුවක්

මරා ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර ඇතුළුව ත්‍රස්ත ක්‍රියා සිදු කරන ත්‍රස්තවාදී සංවිධානයක් වේ නම් ඒවා මුලිනුපුටා දැමීම රජයේ වගකීමක් සහ අයිතියක් බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉහත කී මාධ්‍ය හමුවේ දී සඳහන් කළේය.

යුද අපරාධ සහ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ විභාග ශ්‍රී ලංකාවේ ඒකීය භාවය සහ භෞමික අඛණ්ඩතාව පූර්ණ මට්ටමින් සුරැකෙන මට්ටමින් දේශීය යාන්ත්‍රණයක් තුළ සිදු කිරීමට ශ්‍රී ලංකාවට හිතවත් ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෝගය දින ගන්නා බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.