සර්ව පාක්ෂික සමුළුවකට එකඟයි - වාසුදේව

ජනාධිපතිවරයා විසින් සර්ව පාක්ෂික සමුළුවක් කැඳවනු ලැබුනොත් නොවරදවාම තමා ඊට සහභාගී වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසයි.

එහෙත් පසුගියදා ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම විසින් ශ්‍රී ලංකාව සඳහා ඒකමතිකව සම්මත කරන ලද යෝජනාවට විරුද්ධ බවයි ඔහු පවසන්නේ.

සම්මත කරන ලද යෝජනාව ඇමෙරිකා එක්සත් ජනපදය කලින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කළ යෝජනාවේ ප්‍රතිඵලයක්ම වන හෙයින් තමා ඊට එරෙහි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා සඳහන් කළේ.

ජිනීවා මුළු ක්‍රියාදාමයම ඇමෙරිකා එක්සත් ජනපදය මුල් වීමෙන් සිදු කෙරුණ වැඩ පිළිවෙළක්ය යන්න මන්ත්‍රීවරයාගේ අදහසයි.

එබැවින් එකී ක්‍රියාදාමයේ ප්‍රතිපලයක් හැටියට සම්මත කෙරුණ මානව හිමිකම් කොමිසමේ යෝජනාවට ද තමා විරුද්ධ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටින්නේ.

යටත් වීමක්

Image caption ජිනීවා යෝජනාවලට එරෙහි සන්ධානයේ පුරෝගාමීන්

ආණ්ඩුව ප්‍රකාශ කරන ආකාරයට ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණය දේශීය යාන්ත්‍රණයක් තුලින් සිදු කෙරෙන හෙයින් ඊට දක්වන විරෝධයේ පදනම ගැන බීබීසිය විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ ‘මානව හිමිකම් මණ්ඩලයේ යෝජනාව යටත් වීමේ යෝජනාවක්’ වන බවයි.

ශ්‍රී ලංකාවේම නිර්මාණයක් වන උගත් පාඩම් කොමිසමේ නිර්දේශ අනුව පරීක්ෂණ ක්‍රියාදාමය පෙරට ගෙන යා හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාරගේ අදහසයි.

ජාත්‍යන්තර පරීක්ෂණයක් වෙනුවට දේශීය පරීක්ෂණයක් නිර්දේශ කරනු ලැබීම සම්බන්ධයෙන් විමසූ විට මන්ත්‍රීවරයා කියා සිටියේ ‘කරන දේ සහ කරන දේ අතර වෙනසක්’ ඇති බවයි.

‘මට ඇමෙරිකා එක්සත් ජනපදය ගැන විශ්වාසයක් නැහැ. ඔවුන් මුල් වී අපේ රට යම්කිසි යෝජනාවකට යටත් කරනු ලැබීමට මම විරුද්ධයි.’මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ජනපති සමඟ ප්‍රශ්නයක් නැහැ

වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර කියා සිටියේ තමාගේ ප්‍රශ්නය පවතින්නේ ජනාධිපතිවරයා සමඟ නොවන බවයි.

‘මගේ ප්‍රශ්නය පවතින්නේ ඇමෙරිකා එක්සත් ජනපදය මූලික වී ගෙන ආ ලංකාවේ අත්සන එකතු කරගත් යෝජනාවටයි.’

එම යෝජනාව පැත්තකින් තබා ජාත්‍යන්තර මතවලට සවන් දෙමින් කටයුතු කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර සඳහන් කරන්නේ.