යුද්ධයෙන් පසුව අමතක වූ තොප්පිගල

Image caption තොප්පිගලදී ශ්‍රී ලංකා රජයේ හමුදා සෙබළුන් (48 ) සහ එල්ටීටීඊ සාමාජිකයන් හත්සියයක් අටසියයත් ( 700-800 ) අතර ප්‍රමාණයක් මියගිය බවයි සැලකෙන්නෙ

'වංශාධිපතියාගේ හිස් වැස්ම' නොහොත් 'බැරන්ස් කැප්' යනුවෙන් හඳුන්වන තොප්පිගල ශ්‍රී ලංකාවේ යුද්ධය පැවති සමයේ දැඩි අවධානයට ලක් වූ ප්‍රදේශයක්.

2007 වසරේ බිහිසුණු සටන් ඇවිල ගිය ප්‍රදේශයක් වූ තොප්පිගලදී ශ්‍රී ලංකා රජයේ හමුදා සෙබළුන් හතලිස් අටක් සහ එල්ටීටීඊ සාමාජිකයන් හත්සියයක් අටසියයත් (700-800 ) අතර ප්‍රමාණයක් මියගිය බව විශ්වාස කෙරේ.

කෙසේවෙතත් යුද්ධය හමාරයේ වසර හතකට ආසන්න වූ අද වන විට තොප්පිගල පවතින්නේ කෙබඳු තත්වයක්ද?

පොළොන්නරුව මඩකලපුව දක්වා දිවෙන ඒ 11 මාර්ගයේ ගමන් කොට කිරාන් හන්දියෙන් වම් දිශාවට හැරුනු කල තොප්පිගල මාර්ගය දිස් වේ.

තොප්පිගල පාමුල ඇති කූල වාඩි, පුලිපංචිකල් ගම්මාන වල පවුල් පන්සීයකට අධික පිරිසක් සිටින බවයි එහිදී මට හමු වූ තවරාසා කියා සිටියේ.

Image caption 'ඉතින් අපිට ජීවත් වෙන්න පහසුකම් ඕන නේද.ළමයින්ට හරියට ඉස්කෝලයක් නෑ, බෙහෙතක් ගන්න ඉස්පිරිතාලයක් නෑ'

"ලෝක ආධාර වැඩසටහනෙන් අපිට ආධාර දෙනව කියල නම් අරන් ගියා තාමත් නෑ.වැස්සෙන් විතරයි කුඹුරු කරන්න වෙන්නෙ. ඒ වැස්සටත් මේ පළාතම යටවෙනව.එතකොට දර කඩන්නත් බෑ," තවරාසා පැවසීය.

"යුද්ධෙ ඉවරයිනෙ. ඉතින් අපිට ජීවත් වෙන්න පහසුකම් ඕන නේද. ළමයින්ට හරියට ඉස්කෝලයක් නෑ, බෙහෙතක් ගන්න ඉස්පිරිතාලයක් නෑ. අපි යුද්ධ කරේ නෑනෙ. අපි ආමි එකේ අය මැරුවෙ නෑනෙ. අපි හිටියෙ හැංගිලා නොකා නොබී හිටියෙ. දැන් ගමට ආවට ජීවත් වෙන්න විදියක් නෑ."

කිරාන් කලපුව මේ ගම මැදින් ගලා ගියත් එයද කලකදි සිඳී යන බවයි ඔවුන් පවසන්නේ.

අලගරාණී තිස්පස් හැවිරිදි කාන්තාවක්.

Image caption වෙඩි ප්‍රහාරයන්ගෙන් සිදුරුව ගිය නිවාස

"තොප්පිගල ආමි එකෙන් කරන පාක් එක බලන්න යන කට්ටිය අපේ ළම්යි දැක්කම පොටෝ ගන්නව. කන්න ජාති දීලා යනව. එව්වද අපිට ඕන. ජීවත් වෙන්න විදියක්නෙ ඕන. කලපුවෙන් මාළු අල්ලනව නැත්නම් දර කපනව.එච්චරයි."

බැලූ තෙක් මානයේ පෙනෙන පුරන්ව ගිය කුඹුරු යායත් වෙඩි ප්‍රහාරයන්ගෙන් සිදුරුව ගිය නිවාසත් හැරුණු කොට තොප්පිගල පාමුල වෙසෙන්නන්ට ප්‍රිය උපදවන දසුනක් මමද නුදුටුවෙමි.

සින්නදොරේ මට මුණගැසුනේ සිය පාපැදියට දර පුරවන අතරතුරදී.

"කිරාන් වල තමා අපිට ළග ටවුමකට තියෙන්නෙ. අපි දර ගෙනියන්නෙත් එහෙට. වැස්සම එහාට යන්න බෑ ඔක්කොම යටවෙනව. දැන් එන්ජීඕ මහත්තුරු එන්නෙ නෑ ආවනම් අපිට උදව් කරනව."

කූලවාඩි ගමේ එක පසෙකින් තහඩු සෙවිලි කල නිවාස කිහිපයක්ද අනෙත් පසින් උළු සෙවිලි කල නිවාස කිහිපයක්ද දැකගත හැකියි.

Image caption 'දැන් එන්ජීඕ මහත්තුරු එන්නෙ නෑ ආවනම් අපිට උදව් කරනව'

යුද්ධය පැවති කාලයේ සිත්තන්ඩි ගම්මානයේ රැඳී සිටි දහනව හැවිරිදි සින්දූජා නැවතත් සිය ගම්පියස වූ කූල වාඩි ගමට පැමිණ තිබෙන්නෙ මීට වසර පහකට පමණ පෙරදීයි.

"මේ තහඩු වහල තියෙන්නෙ එල්ටීටීඊ එකෙන් හදල දීපු ගෙවල්. උළු වහල තියෙන්නෙ එන්ජීඕ වලින් හදල දීපුව. මගෙ මහත්තය කරන්නෙ මාළු අල්ලන එක.ඒක හැමදාම කරන්න බෑ. යුද්ධෙ ඉවරයි නම් අපිටත් කලක් යන්න ඕන. හිඟාකන්න බෑනෙ. අපිට ආධාර එපා පහසුකම් හදල දෙන්න ළමයින්ට ඉස්කෝල. අපිට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලයක්. අපිට එව්වයි ඕන."

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් නැවතත් එළිපෙහෙළි කරන්නට පැවති රජයත් පවතින රජයත් බොහෝ දේ ක්‍රියාත්මක කළද "වංශාධිපතියාගේ හිස්වැසුම" පාමුල දිවි ගෙවන්නන්නට කිසිදු "අස්වැසුමක්" නැති බවයි, මට දැක ගත හැකි උනේ.