දෙමළ තරුණයන් සියයක් බන්ධනාගාර නියාමක පුහුණුවට

Image copyright AjithLal ShanthaUdaya
Image caption රැඳවියන්ට ලබාදෙන වෘත්තීය පුහුණුවද කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට ලක්විය

මීට මාස කිහිපයකට පෙර බන්ධනාගාර සේවය සඳහා බඳවාගත් 500 ක පිරිසක් අතුරෙන් සිය දෙනකු දෙමළ කතාකරන නිලධාරීන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පවසයි.

ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ දෙමළ කතාකරන නිලධාරීන් මෙතරම් පිරිසක් එකවර බඳවාගත් පළමු අවස්ථාව මෙය බවද කොමසාරිස් ජනරාල් වරයා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර ඒ බව සඳහන් කළේ කුරුවිට බන්ධනාගාරයේදී එසේ පුහුණුව ලබමින් සිටින තරුණ දෙමළ නිලධාරීන් හමු වූ අවස්ථාවේ.

කොමසාරිස් ජනරාල්වරයා ඔවුන් සමඟ දෙමළ භාෂාවෙන් අදහස් හුවමාරැ කරගැනීම විශේෂත්වයක්.

Image copyright AjithLal ShanthaUdaya
Image caption කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන්ගේ වගාවක්

දෙමළ භාෂාව කතාකරන නිලධාරීන් දිවයිනේ දකුණු ප්‍රදේශවලත්, සිංහල කතාකරන නිලධාරීන් උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් මේ වනවිට පුහුණුවීම සඳහා යොදවා ඇති බවත් ඔහු සඳහන් කළ

බන්ධනාගාර නියාමක සේවයට එක්වූ පන්සිය දෙනා අතරින් දෙමළ කතාකරන තරුණයන් සිය දෙනා කැපී පෙනෙන බව සඳහන් කළ කොමසාරිස් ජනරාල්වරයා, සුදුසුකම් තිබේ නම් ජාති බේදයකින් තොරව රාජ්‍ය සේවයට පැමිණිය හැකි බව මෙම බඳවාගැනීම්වලින් පෙනීයන බවත් කියා සිටියේය.

රජයේ ප්‍රතිපත්ති මත සුදුස්සන් බඳවාගත් බව කියා සිටි කොමසාරිස් ජනරාල්වරයා, අමාත්‍යවරයා හෝ ලේකම්වරිය ඒ සඳහා කිසිදු බලපෑමක් නොකළ බවත් පැවසීය.

දෙමළ කතාකරන මෙම නවක නිලධාරීන් ඔවුන්ගේ පුහුණුවලින් පසු උතුරු නැගෙනහිර බන්ධනාගාරවලට ස්ථානගත කළවිට උතුරු නැගෙනහිර බන්ධනාගාරවල මෙතෙක් පැවති නිලධාරී හිඟයට පිළියම් ලැබෙන බවද බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වැඩිදුරටත් පැවසීය.

බන්ධනාගාරගතව සිටින රැඳවියන්ට ලබාදෙන වෘත්තීය පුහුණුවද කොමසාරිස් ජනරාල්වරයාගේ අවධානයට ලක්විය.