විදේශ කටයුතු ගැන මංගල, රනිල් විරසකයක?

Image copyright AFP Getty Images
Image caption එදා සහ අද: පක්ෂයේ නායකත්වයට එරෙහිව අභියෝග එල්ල වෙද්දී, මංගල රනිල් වෙනුවෙන් පෙනී සිටි සමීප හිතවතෙක්

ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජපානයේ විශේෂ නිල සංචාරයක යෙදී සිටියදී, විදේශ අමාත්‍ය මංගල සමරවීර මුල් දින කිහිපය තුළ එයට සහභාගි නොවීම අවධානයට පාත්‍ර වී තිබේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගි වූ විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව බ්‍රිතාන්‍යයට ලඟා වූ අතර, ලන්ඩන් නුවර දින කිහිපයක් ගත කළ ඔහු ජපානය බලා පිටත්ව ගියේ සඳුදායි.

අමාත්‍යවරයා අඟහරුවාදා තෝකියෝ නුවරට ලඟා වන විට අගමැතිවරයාගේ නිල සංචාරය බොහෝ කටයුතු අවසන්ව තිබූ අතර, ශ්‍රී ලංකා දූත කණ්ඩායම බදාදා යළි ශ්‍රී ලංකාව බලා පිටත්වීමට නියමිතයි.

අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකා දූත මණ්ඩලයක ප්‍රධානම සාමාජිකයකු විය යුතු විදේශ අමාත්‍යවරයා, අගමැතිවරයාගේ සංචාරයට අවසාන මොහොතේ එක්වූයේ ඇයි?

Image caption ජිනීවා කෙටුම්පතේ වගන්ති සංශෝධනය කිරීම පිණිස අගමැතිවරයා පෞද්ගලිකවම මැදිහත් වූ බව පැවසේ

මහ මැතිවරණයෙන් අනතුරුව අගමැති රනිල් වික්‍රමසිංහ සිය පළමු නිල සංචාරය සඳහා ඉන්දියාව තෝරා ගත් අවස්ථාවේ, ඉන්දියාව සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශ නිලධාරීන් ලබා දුන් පසුබිම් තොරතුරු වාර්තාව අගමැතිවරයාගේ විවේචනයට ලක්විය.

කෙසේ නමුත් ඒ විවේචනය විදේශ අමාත්‍ය මංගල සමරවීරද අනුමත කළ බැවින් එය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීමක් ලෙසින් සැලකිය නොහැක.

ඉන් අනතුරුව ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකා එක්සත් ජනපදය ඉදිරිපත් කළ ශ්‍රී ලංකාව සම්බන්ධ නවතම යෝජනා කෙටුම්පතේ අන්තර්ගතය පිළිබඳව තානාපති රවිනාථ ආර්යසිංහ දැක් වූ ප්‍රතිචාරය පිළිබඳව එතරම් ප්‍රසාදයක් නොදැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ අදාළ කෙටුම්පතේ වගන්ති සංශෝධනය කිරීම පිණිස පෞද්ගලිකවම මැදිහත් වූ බවයි, සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ.

අගමැතිවරයා සහ විදේශ අමාත්‍යවරයා අතර දක්නට ලැබෙන විරසකය ආරම්භ වූයේ එවක් පටන්ද?

ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසන ආකාරයට ඊට සති කිහිපයකට කලින්ම ආණ්ඩුවේ බලවතුන් අතර විරසකයක් මතුවෙමින් පැවතින.

මහ මැතිවරණයෙන් අනතුරුව අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයා ගේ කාර්ය මණ්ඩලයේ ඇතැම් නිලධාරීන්ගේ ආකල්ප පිළිබඳව අමාත්‍ය මංගල සමරවීර තරමක කලකිරීමකින් පසුවන බවයි බීබීසී සංදේශයට අනාවරණය වෙන්නේ.

විශේෂයෙන්ම විදේශ අමාත්‍ය පදවිය තමන්ට හිමිවිය යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලදී දැඩි ස්ථාවරයක සිටි බවත්, එම පදවිය අපේක්ෂාවෙන් සිටි හිටපු අමාත්‍යවරයකු මැතිවරණයෙන් පරාජය වීම හමුවේ එම ස්ථාවරය වෙනස් කරගැනීමට ශ්‍රීලනිපයට සිදු වූ බවත් විශ්වාස කෙරේ.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අභිබවා කැපී පෙනීමට විදේශ අමාත්‍යවරයා උත්සාහ කරන බවට මතවාදයක් පැතිරවීමට ඇතැම් නිලධාරීන් උත්සාහ කළ නමුත්, එම චෝදනාව සත්‍ය නොවන බව සනාථ කිරීම පිණිස අමාත්‍ය සමරවීර විශේසහ වෙහෙසක් දැරූ බවත් ආරංචි මාර්ග පවසයි.

මේ අතර තවමත් රාජපක්ෂ පාලනයට ලැදි විදේශ අමාත්‍යංශයේ ඇතැම් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය ආණ්ඩුවේ කටයුතු සිතාමතාම අඩපණ කිරීමේ උත්සාහයක නිරතව සිටින බව අගමැතිවරයාගේ මතය වී තිබෙන බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි. කෙසේ නමුත් ඒ මතය විදේශ අමාත්‍යවරයාට එරෙහි විවේචනයක් නොවන බවයි, පුවත්පත අවධාරණය කරන්නේ.

ඒ අතරම අග්‍රාමාත්‍ය කාර්යාලයේ කටයුතු මෙහෙයවන, අගමැතිවරයාගේ සමීපම සගයකු වන අමාත්‍ය සාගල රත්නායක මාතර දිස්ත්‍රික්කයේ මනාප පොරයේදී විදේශ අමාත්‍යවරයාගේ ප්‍රතිවාදියකු වීම තත්වය සංකීර්ණ කිරීමට තුඩු දී තිබෙන තවත් සාධකයක් බව සැලකේ.