ලලිත් වීරතුංගට 'විශේෂ සහනයක්'

Image caption සිල් රෙදි බෙදාදිම සදහා රජයේ මුදල් රුපියල් මිලියන 600 ක් වැය කළ බවට චෝදනා කරමිනුයි ඔහුට එරෙහිව නඩු පවරා ඇත්තේ

පොදු දේපළ පනත යටතේ චෝදනා ලබන සැකකරුවන් මුලින්ම පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කල යුතු වීම සාමාන්‍ය ක්‍රියා පටිපාටිය වුව ද හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට එරෙහිව කෙලින්ම මහාධිකරණය ඉදිරියේ නඩු පැවරීම තුලින් ඔහු අත් අඩංගුවට ගැනීමෙන් වලක්වා තිබෙන්නේ විශේෂ සහනයක් ලබා දීමට බව නීතිවේදී නාමල් රාජපක්ෂ පවසයි.

රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනා මත අධිකරණයට ඉදිරිපත් වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන විත්තිකරුවන් සම්බන්ධව කටයුතු කිරීමේ දී නීතිපතිවරයා සහ පොලිසිය සාමාන්‍ය ක්‍රියා පටිපාටිය මග හරිමින් කටයුතු කර ඇති බවයි නීතිවේදියා පවසන්නේ.

පසුගිය ජනාධිපතිවරණය සමයේ ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවයින පුරා විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීම සදහා රජයේ මුදල් රුපියල් කෝටි හැටක් වැය කළ බවට චෝදනා කරමින් ඉහත කී විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව නඩු පවරා තිබුණ ද ලලිත් විරතුංගට එරෙහිව නඩු පැවරීමේ දී නීතිපතිවරයා ඔහුට සුවිශේෂ සහනයක් සලසා දී ඇති බවටයි මානව හිමිකම් ක්‍රියාකාරී නීතිවේදියකු වන නාමල් රාජපක්ෂ චෝදනා කරන්නේ.

Image copyright Mahinda Rajapaksha
Image caption මහජන මුදලින් සිල් රෙදි බෙදා දුන් බවට චෝදනා කෙරෙන්නේ හිටපු ජනාධිපතිවරයාගේ ඡන්ද සටනේ කොටසක් වශයෙනි.

චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව විත්තිකරුවන් දෙදෙනා කියා සිටියේ තමන් එකී චෝදනාවලට නිවැරදි කරුවන් බවයි.

එම අවස්ථාවේ මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන කියා සිටියේ විත්තිකරුවන්ට ආදාල චෝදනා පොදු දේපල පනත යටතේ ඉදිරිපත් අර ඇති නිසා විත්තිකරුවන් නඩු විභාගය අවසන් වනතෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට හැකියාවක් පවතින බවයි.

සැකයක් නැහැ

විනිසුරුවරිය මතුකළ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් රජයේ නීතිවේදියා කියා සිටියේ, විත්තිකරුවන්ගෙන් මෙතෙක් පරීක්ෂණ වලට හෝ සාක්කි කරුවන්ට අගති දායක බලපෑමක් එල්ල වී නොමැති බවයි.

සැකකරුවන් ඇප මත මුදාහැරීම තුලින් ඔවුන් අනාගතයේදී අධිකරණය මගහැර යනු ඇතැයි සැකයක් ඇති නොවන බවයි රජයේ නීතිවේදියා පෙන්වා දුන්නේ.

Image copyright AFP

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය විත්තිකරුවන් ඇප මත මුදා හළ අතර නඩු විභාගය ලබන නොවැම්බර් මස නව වෙනි දිනට කල් දැමීය.

කෙසේවුවද අධිකරණයේදී කරුණු දැක්වූ රජයේ නීතිවේදියා කියා සිටියේ පොදු දේපළ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව එක එල්ලේ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපතිවරයාට බලය තිබෙන බවයි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර