කොටකෙතන: කාන්තා ඝාතන 19 ක අබිරහස

Image copyright AjithLal Shantha Udaya
Image caption 'ගොඩක් මරණ සිදුවෙන්නේ මේ ඇල දෙපැත්තේ. සමහර සිරුරු කබරයෝ, සත්තු කාල විනාශ වෙලා තිබුනා'

රත්නපුර කහවත්තේ, කොටකෙතන ගම්මානයේ පවතින්නේ යුද පිටියක වැනි ස්වභාවයක්.

යුද්ධය අවසන් වී උතුරේ සංචාරය කළ බොහෝ දෙනෙකුට මෙය සුපුරුදු චිත්‍රයක්; ඒ ප්‍රදේශය පුරා තරකොට තිබෙන යුද හමුදා ආරක්ෂාව.

මෙය "පුංචි නන්දිකඩාල් ප්‍රදේශයක්" ලෙසින් පවා හැඳින්වීම වැරදි නොවන බව හැඟෙන්නේ එහි වෙසෙන ගම්වාසීන්ට වැඩි පිරිසක් ප්‍රදේශයේ ආරක්ෂාවට යොදවා සිටි අයුරු කොටකෙතන ගමේ සංචාරය කළ අවස්ථාවේ බීබීසී යට දක්නට ලැබුණු හෙයින්.

ගම්වැසියන්ට ප්‍රවාහන පහසුකම් සපයන බස්රථයට අමතරව දක්නට ලැබුණු එකම වාහන පෙළ වූයේත් පොලිස් ජීප් රථ 4, 5 ක්.

සාමාන්‍යයෙන් විශේෂ කාර්ය බලකායේ ආරක්ෂාව යටතේ පවතින කොටකෙතන ගම්මානය මේ දිනවල නැවතත් ගිනියම් වී තිබෙන්නේ වසර 7ක් තුළ 19 වැනි කාන්තා මරණයත් පසුගිය සතියේ වාර්තා වීමත් සමගයි.

පසුගිය 28 වැනිදා මහා දවල් කොටකෙතන මාරයා ඕපාත වත්තේ තේ දලු නෙළමින් සිටි කාන්තාවක්‌ වන නාතන් පාපු සාහසික ලෙස කපා කොටා ඝාතනය කර තිබුණි. මේ හේතුවෙන් පොලිස් කණ්ඩායම් රැසක් මේ වනවිට ගම්මානයට පැමිණ සිටිති.

'ඊළඟ ගොදුර'

කොටකෙතන අවසන් මිනිමරුම සිදුවූ ඕපාත වත්තට අසලට පැමිණි අපට මුණගැසුණු වේලුසාමි අලගර්සාමි එදින උදෑසන සිය කඩයට පවා පැමිණි නාතන් පාපුගේ ඝාතනය ගැන දැක්වූයේ මෙවන් අදහසක්.

"එක වේලක් කන්නවත් අමාරු මිනිස්සු. අඩි 10 කාමරේ ඉන්නේ. එයාගේ පුරුෂයා බොන්නේ නැහැ, තරහ කාරයෝ නැහැ," ඔහු පැවසීය.

Image caption 'කිසිම ආරක්ෂාවක් නැහැ. මම මේ දරුවා ඉස්කෝලෙට ගෙනල්ල, ඉඳලම එක්කගෙන යන්නේ තනියෙන්ම යන්න තියෙන බයට'

"ඇඟ පත තියෙන ලස්සන ගෑණු කෙනෙක් නෙවෙයි. මේක පුද්ගලික සිද්දියක් කියල අපි හිතන්නේ නැහැ."

ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙසද හැඳින්විය හැකි වේලුසාමි අලගර්සාමිට අනුව කොටකෙතන දැන් පවතින්නේ ඝාතන රැල්ලකි.

"මේ සේරම ප්‍රශ්න වෙන්නේ මේ කොටකෙතන වසමේ. අන්තිම සිද්ධි තුනම වුනේ මාස 5න් 5ට. දැන් අපි බලාගෙන ඉන්නේ ඊළඟ මාස 5න් පස්සේ මොකද වෙන්නේ කියලා."

වේලුසාමි අලගර්සාමි පවසන පරිදි මේ ඝාතන සම්බන්ධයෙන් මේ වනවිට කොටකෙතන ගම්මානයේ මෙන්ම තම වත්තේ සිටින සියළු දෙනාගෙන්ම පාහේ පොලිසිය ප්‍රශ්න කර අවසන්.

"ඒක ගැන නම් පුදුම හිතෙනවා. 2008 ඉඳල සිද්ද වුන මේ මරණ 19 ගැන පරීක්ෂණ කරනවා පරීක්ෂණ කරනවා කිව්වට, මේ එක සිද්ධියකටවත් කාටවත් දඬුවමක් දීලා නැහැ."

පොලිසිය ලඟම

ගම්මානයේ ජිවත්වන බොහෝ දෙනා මාධ්‍යවලට අදහස් දැක්වීමට බියක් දක්වන්නේ "මාධ්‍යවලට අදහස් දැක්වීම නිසා කොටකෙතන මාරයාගේ ඊලඟ ගොදුර" තමන් විය හැකි බවට පවතින බිය හේතුවෙන්.

බොහෝ ඝාතන සිදු වූ ස්ථාන ආසන්නයේම පොලිස් සහ විශේෂ කාර්ය බලකා මුරපොවල් පිහිටුවා තිබුණත්, ඝාතනවල අඩුවක් නොවීම ගම්මානයේ ජනතාවට බරපතල ප්‍රශ්නයක් වී තිබේ.

Image copyright AjithLal Shantha Udaya
Image caption 'පාසලකට ළමයෙකුට යන්න විදිහක් නැහැ. අපි ගොඩක් අසරණයි අද'

කොටකෙතන පාසල අසලදී දරුවා නිවසට රැගෙන යාමට පැමිණ සිටි කාන්තාවක් ඒ ගැන දැක්වුයේ මෙවන් අදහසක්.

"පොලිසිය එහෙ මෙහෙ යනවා විතරයි. කිසිම ආරක්ෂාවක් නැහැ. මම මේ දරුවා ඉස්කෝලෙට ගෙනල්ල, ඉඳලම එක්කගෙන යන්නේ තනියෙන්ම යන්න තියෙන බයට," ඇය කියා සිටියාය.

"අපේ ගේ උඩ පැත්තෙත් කාන්තාවක් ඝාතනය වුනා. පහලත් කාන්තාවක් ඝාතනය වුනා, ඇවිල්ල බලන්නකෝ අපේ ගෙදර අපි ජිවත් වෙන හැටි. උඩ පැත්තේ හද්ද මූකලාන තියෙන්නේ."

සිය නිවස අසල ජීවත්වූ පවුල් කිහිපයක්ම ප්‍රදේශය හැර ගොස් ඇති බවත් ඇය කියා සිටියාය.

"අපිට යන්න තැනක් නැහැ. හයෙන් පස්සේ එලියට බහින්න බයයි. පිරිමි අය නැත්නම් දොරට ගැහුවත් දොර නම් අරින්නේ නැහැ."

ඕපාත වත්තේ වේලුසාමි අලගර්සාමිද පවසන පරිදි ආරක්ෂක අංශ සිටියදීම මෙවන් ඝාතන සිදුවීම ඔවුන්ට ප්‍රහේලිකාවක්.

පන්සල පාලුයි

"මීටර් 200,300 වගේ පොඩි පොඩි කෑම්ප් දාගෙන ඉන්නවා. ස්වර්ණලතා මැරුණ තැනට මීටර් 300ක් වත් නැහැ පොලිස් මුරපොල. දැන් නාතන් පාපු මැරුණ තැනට මීටර් 300ක් විතර පහලින් පොඩි මුරපොලක් තියෙනවා."

කොටකෙතනට ආසන්න දිබුල්වල විහාරස්ථානයේ පුජ්‍ය පල්ලේගම ධර්මරත්න හිමියන් ප්‍රදේශයේ පවතින බියජනක වාතාවරණය බීබීසී යට විස්තර කළේ මෙලෙසින්.

"මේ වස්කාලේ නමුත් සවස් වරුවේ කවුරුත් පන්සලට එන්නේ නැහැ බය නිසා. ඉතින් පින්කම් එහෙම අවලංගු කරන්න සිදුවුනා."

බුද්ධික රත්නකුමාර කොටකෙතන ඝාතන මුල සිටම වාර්තා කළ ප්‍රාදේශීය මාධ්‍යවේදියෙක්. මේ සියලු ඝාතන කිලෝමීටරයක් දෙකක් පමණ ප්‍රදේශයක් ඇතුලත සිදුවූ ඒවා බව ඔහු පැහැදිලි කර දුන්නේය. ඝාතන බොහොමයක් සිදුවූ ස්ථාන එක් ස්ථානයක සිට පෙන්වීමට හැකිවීම එයට කදිම උදාහරණයක්.

"මේ මෙතන තියෙන්නේ නාතන් පාපුට කලින් මරපු කෙනාගේ ගේ. එයාගේ මරණ ගෙනල්ල දාල තිබ්බේ මේ ඇලේ," බුද්ධික රත්නකුමාර අප කැඳවාගෙන යමින් විස්තර කළේය.

"මේ අර බේබි නෝනා කියල මරපු කෙනාගේ ගේ. මේක තිලකරානි කියල මරපු කෙනාගේ ගේ," කොටකෙතන ඇල මත්තේ සිට එම ස්ථාන පෙන්වා දුන් බුද්ධික පවසන පරිදි කොටකෙතන ඇල සහ මේ ඝාතන අතර සෘජු සම්බන්ධයක් පවතී.

Image copyright AjithLal Shantha Udaya
Image caption 'මේ වස්කාලේ නමුත් සවස් වරුවේ කවුරුත් පන්සලට එන්නේ නැහැ බය නිසා. ඉතින් පින්කම් එහෙම අවලංගු කරන්න සිදුවුනා'

"මේ ගොඩක් සිද්ධීන්වල මරල ගෙනල්ල දාල තිබ්බේ මේ ඇල පැත්තට. මේ ගම්මානේ හරහා තමා මේ ඇල ගලන්නේ. ගොඩක් මරණ සිදුවෙන්නේ මේ ඇල දෙපැත්තේ. සමහර සිරුරු කබරයෝ, සත්තු කාල විනාශ වෙලා තිබුනා."

මේ ඝාතන ගැන සැකපිට පොලිසිය වරින් වර විවිධ පුද්ගලයන් අත්අඩංගුවට ගත්තත් ඒ කිසිවෙකුත් තවමත් වරදකරුවන් වී නැහැ. නිදහස් වූ ඇතැම් සැකකරුවන් ඝාතනයට ලක්වූ අවස්ථාත් තිබෙන බව මාධ්‍යවේදී බුද්ධික රත්නකුමාර විස්තර කළේය.

'ලැජ්ජයි'

"සේයා ඝාතනය වගේ තමයි ඝාතනයක් වුනාම අරගෙන යනවා. පස්සේ අධිකරණයෙන් ඒ අය නිදහස් වෙනවා. ඒ නිදහස් වෙලා ආපු අය පස්සේ ගමෙන් කොන්කරනවා. ඒ අයට සමාජයට මුහුණදෙන්න බැරි පරිසරයක් ඇතිකරනවා," ඔහු පැවසීය.

"වස පානය කරලා. ගෙල වැලලාගෙන මැරිච්ච දෙන්නෙකුත් ඉන්නවා. ඝාතන කිහිපයකුත් වුනා. අධිකරණයෙන් නිදහස් වෙලා හෝ ඇප අරන් ආපු අය තමයි එහෙම ඝාතනය වුනේ. සමහර අය අතුරුදහන් වුනා."

කොටකෙතන සභා ඝාතකයා තවමත් නිදැල්ලේ බව, කොටකෙතන සිවිල් ආරක්ෂක කමිටුවේ සාමාජිකත්වය දරන ගමේ තරුණයෙකු වන සමන් කුමාර පෙන්වා දුන්නේය.

"පොලිසියේම දක්ෂ මහත්තුරු එනවා. පරීක්ෂණ කරලා අහවලා කියල පත්තරවල රූපවාහිනියේ දැම්මා. හැබැයි අධිකරණයට ගියාම සාක්ෂි නැහැ කියල නිදහස් වෙනවා. එහෙමනම් අපි අහන්නේ කොටකෙතන සභා ඝාතකයා කවුද කියලා?"

2008 ට පෙර කොටකෙතන ගමේ තිබු සුන්දරත්වයත්, වර්තමානයේ පවතින වාතාවරණයත් ගැන අදහස් දක්වන සමන් කුමාර කියා සිටියේ: "කොටකෙතන කියන නම කියන්න ලැජ්ජයි එක අතකින්," යනුවෙන්.

"පාසලකට ළමයෙකුට යන්න විදිහක් නැහැ. අපි ගොඩක් අසරණයි අද. හොඳ ගම්මානයක් එකපාරටම විනාශවුණා 2008 න් පස්සෙ."

එනමුත් කොටකෙතන ඝාතන රැල්ලක් පවතින බව පිළිගැනීමට පොලිසිය සූදානම් නැහැ.

ඔවුන් පවසන්නේ මෙම ඝාතන අතර සම්බන්ධයක් නොමැති බවයි. කෙසේවෙතත් 2008 ට පෙර සිය ගමේ පැවති සුන්දරත්වය යළි ඇතිකරනු වස් මේ ඝාතන රැල්ලේ අභිරහස විසඳන ලෙසගම්වාසීහු ඉල්ලා සිටිති.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර