ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

එජාපයෙන් පාර්ලිමේන්තුවට තේරුණු දයාසිරිගේ ලේකම්

ජාතික ආණ්ඩු වැඩපිළිවෙළට එකඟ නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් ඇමතිවරුන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් සතුටු විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේන පවසයි.

'නිදහස් පක්ෂයේ කොටසක් සැබෑ ලෙසම විපක්ෂයේ සිටිනවා. තව කොටසක් ඉන්නවා ජාතික ආණ්ඩුවේ තනතුරු ලබාගෙන මෙම ආණ්ඩුවේ වගකීම් අරගෙන විපක්ෂයේ කාර්යභාරය අතට ගෙන ගැලරියට කතා කරන අය' මන්ත්‍රීවරයා ඒ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ නවක මුහුණු හඳුන්වා දීමේ බීබීසී සිංහල සේවයේ විශේෂාංගයට එක් වෙමින්.

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්ක ලයිස්තුවේ හත් වන ස්ථානයට තේරී පත් වූ තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයා ලබා ගත් මනාප සංඛ්‍යාව 64,339ක්.

1997 එක්සත් ජාතික පක්ෂයේ යොවුන් පෙරමුණින් දේශපාලනය ආරම්භ කරන ඔහු ඉන් පසු ප්‍රාදේශීය සභා උපසභාපතිවරයෙක් ලෙසද කටයුතු කර තිබේ.

දයාසිරි ජයසේකර අමාත්‍යවරයා එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් ලෙස සිටියදී ඔහුගේ ලේකම්වරයා ලෙසද කටයුතු කළේ තුෂාර ඉඳුනිල් අමරසේන මන්ත්‍රීවරයායි.

"2002 ඔහු එක්සත් ජාතික පක්ෂයට ආවේ. ඔහුගේ පාර්ලිමේන්තු මැතිවරණයට උදව් කරලා මම ඔහුගේ ලේකම් වුනා. නැවතත් 2013දී ඔහු ඔහුගේ තිඹිරිගෙට ගියා, ඔහු ආව ගියා මම මගේ ස්ථාවරේ හැමදාම හිටියා"