මනියම්තෝට්ටම්: පාසලක් නැති ගමක්

Image copyright Shivanthi Fernando

හොඳම දේ දරුවන්ට හිමි විය යුතු බව සෝවියට් දේශයේ නායකයාව සිටි වීඅයි ලෙනින් වරක් පැවසීය.

ලොව අනාගතය වන්නේ දරුවන්ය. තවත් දරු පරපුරකට මව්පියවරුන් වන්නේ ඔවුන්ය.

ආහාර, ඇඳුම්, නිවාස මෙන්ම අධ්‍යාපනයද ඔවුන්ගේ මූලික අවශ්‍යතා වන්නේ එහෙයිනි.

ශ්‍රී ලංකාව පුරා නාගරීකරණයෙන් තොර බොහෝ පෙදෙස්වල දරුවෝ සැතපුම් ගණන් පයින් පාසල් යති. පාසල් යා නොහැකිව පීඩා විඳිති. එවන් ගම් බිම් අතරින් පාසලක් නොමැතිව දෙමාපියනුත් දරුවනුත් පීඩා විඳින ප්‍රදේශයක් අපට යාපනයෙන්ද හමු විය.

ඒ ගම මනියම්තෝට්ටම් නම් වෙයි.

එය ශ්‍රී ලංකාවේ විශාලතම කතෝලික දේවස්ථාන අතරෙන් එකක් විය හැකි ශුද්ධ වූ සෙබස්තියන් මුනිඳුන්ට කැප වූ දේවස්ථානය ඇසුරේ නිහඬව තිබෙන ගමකි. 1985දී ජනාවාසයක් වශයෙන් පිහිටුවූ මනියම්තෝට්ටම් ගමට එවක් පටන්ම පාසලක් තිබුණේ නැත.

Image copyright Shivanthi Fernando

යාපනය නගරයෙන් කිලෝ මීටර් පහක් පමණ ඇතුළට වන්නට පිහිටි උදයපුරම්, වසන්තපුරම්, මෙලන්තෝට්ටම් යන ගම් තුනද පිහිටන්නේ මනියම්තෝට්ටම් ගම හා එකාබද්ධවය. මෙම කුඩා ගම් කිහිපයම එක් ගමක් වී ඇත්තේ එකම දේවස්ථානයක් ඇසුරේ සිය දෛනික දිවිය ගෙවන හෙයිනි.

මේ සියලු කුඩා ගම්වලට අයත් පවුල් 500කට ආසන්න සංඛ්‍යාවක් සිටින බව ශාන්ත සෙබස්තියන් දේවස්ථාන මීසම් පාලක ලියෝ ආම්ස්ට්‍රෝන්ග් පියතුමාණෝ අපට පැවසූහ.

ඒ පවුල්වල පාසල් යන වයසේ දරුවන් දහසකට ආසන්න සංඛ්‍යාවක් සිටින බව පියතුමාණන්ගේ අදහසයි. ගම් කිහිපයට ආවේණික ජීවන රැකියාව වන්නේ ධීවර කර්මාන්තය හෝ පෙදරේරු වැනි කුලී රස්සා ය. ගමේ පොල් වගාව රිවිරැස මෙහෙයුම් කාලයේදී විනාශයට පත් වී තිබේ. ආර්ථිකය එසේ තිබියදී දරුවන්ට යාමට ළඟපාත පාසලක් නොතිබීම මනියම්තෝට්ටම්හි අනාගත ජනතාව මුහුණ දී ඇති අභියෝගයයි.

යාපනයේ ඩෙල්ෆ්ට් වැනි දූපත්වල පාසල් - දරුවන් නොමැතිව වසා දැමීමට සිදුව තිබියදී සෙබස්තියන් දේවස්ථාන මීසමට අයත් දරුවන්ට අධ්‍යාපනය ලැබීම පිණිස කිලෝමීටර් පහක් එහා ඇති යාපනය නගරයට හෝ ඉන් ඔබ්බට ගමන් කිරීමට බල කෙරී තිබේ.

Image copyright Shivanthi Fernando

"දරුවන් පාසල් යාමට කැමතියි. මේක දුප්පත් ගමක්. දෙමව්පියන්ට හොඳ ආදායමක් නොමැතිව දෛනිකව බස් ගාස්තු දී පාසල් යැවීමට වත්කමක් නැහැ. දරුවන් සතිය පටන් ගනිද්දි පාසල් යනවා. දින කීපයක් පාසල් යද්දී ඔවුන් වෙහෙසට පත් වෙලා නවතිනවා," ලියෝ ආම්ස්ට්‍රෝන්ග් පියතුමාණෝ පැවසූහ.

"සමහරු දවසෙ එක වේලක් කාලයි අධ්‍යාපනය කරන්නේ. ළමයි දහම් පාසල් එනවා. හින්දු කතෝලික කියා බේදයක් නැතිව ඔවුන් අප සමග ලැදිව කටයුතු කරනවා. මම අපේ බිෂොප්වරයා මගින් උතුරු පළාත් අධ්‍යාපන ඇමතිවරයාට මේ පිළිබඳව දැනුම් දුන්නා. දේශපාලන නායකයින් කිහිප වතාවක් මෙහි පැමිණියා. සමහර ළමයි අමාරුවෙන් ඉගෙන ගෙන හොඳ තත්ත්වයට ඇවිත් තිබෙනවා. නමුත් පාසලක් තිබුණොත් ඒක මේ ගමේ දියුණුවටත් හයියක් වේවි."

සතියේ දින පහක් පාපැදියෙන් කිලෝ මීටර් පහක් දුර පාසල් ගොස් එන මෙලන්තෝට්ටම් හි ශෝබියා පුෂ්පරාජ්ගේ අදහස වූයේ ඉගෙන ගැනීමට මීට වඩා ළඟ පාසලක් තිබුණේ නම් එය ඉතා හොඳ බවය. යාපනය ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයේ උසස් පෙළ ලිවීමට නියමිත ඇයට කාලය ඉතා වැදගත් වන අතර දෛනිකව මෙසේ එහා මෙහා යෑම තෙහෙට්ටු ක්‍රියාවක් වන බව ඇය පවසන්නීය.

Image copyright Shivanthi Fernando

දෛනික ආදායම රුපියල් 300ක් හෝ 400ක් උපයන තමන්ගේ දරු දෙදෙනා පාසල් යැවීමේ දුෂ්කරතාවය ඉතා හොඳින් වැටහෙන්නේ යැයි රියදුරෙකු වශයෙන් සිය පවුලේ ආර්ථිකය මෙහෙයවන එල් එඩ්වින් පැවසීය. අනෙක් අතට සිය ගමේ බහුතරයක් දෙනා තවමත් සිටින්නේ ඔප්පු නොමැති නිවෙස්වල බවත් හෙතෙම සඳහන් කළේය.

මුහුද දෙසින් හමන සැඩ සුළඟ මෙලන්තෝට්ටම්, මනියම්තෝට්ටම් වැසියන්ට වේදනාවක් නොවන මුත් තමන්ට අයිතියක් තිබේද පවා නොදන්නා භූමියක ඔවුහු ඔප්පු නොමැතිව ජීවත් වන්නේ වේදනාවෙනි. යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඔවුන්ට ඔප්පු ලබා දීමට නොහැකි බව ඇඟවෙන කරුණු ගණනාවක් කියූ බව ප්‍රදේශවාසී ක්‍රිස්ටෝපර් මරියා පවසන්නීය.

එක හමාරට පාසල් ඇරෙන දරුවන් නිවසට පැමිණෙන්නේ පැයකට අධික කාලයක් ගෙවා දමමින් බව අපි දුටුවෙමු.

Image copyright Shivanthi Fernando

යුද්ධයෙන් සිදු වූ පොදු බලපෑම ඔවුන්ගේ ජීවිතයටද පොදු වන අතර සිය ගැටලුව අද හෝ හෙට හෝ විසඳේ යැයි තමන් අපේක්ෂා කරන බව ඔවුහු පවසති. සිය දරුවන් උස් මහත් වන දිනක තමන්ගේ උරුමය වූ රැකියාව ඔවුන්ට පැවරීම මනියම්තෝට්ටම් වැසියන්ගේ බලාපොරොත්තුව නොවන්නේය.

යාපනය නගරයේත් ඒ ආසන්නවත් එකා මෙන් සුදු ඇඳුම් ඇඳ, එක සමාන සපත්තු පැළඳ, එක සමාන බෑග් පිටෙහි එල්ලා ගෙන යන දරුවන් අපි දකිමු. යාපනයේ අධ්‍යාපනය පිළිබද ගැටලු අවම බවත් අපි දුටිමු. රාජ්‍ය නොවන සංවිධාන අධ්‍යාපනයේදී දායකත්වය ගැන අප හොඳින් දුටිමු.

නමුත් ඒ යාපනය නගරාසන්නව දසුනයි.

මනියම්තෝට්ටම් කතාව යාපනයෙන් කිලෝ මීටර් පහක් ඇතුළට වන යථාර්ථයයි.