උතුරේ පොලිසිවලට දෙමළ තරුණයන්

Image copyright Dinasena Rathugamage
Image caption තම පළාත්වල ජනතාවට සේවාවක් ලබාදීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ඉතා සතුටෙන් ඉටුකිරීමට බලාපොරොත්තු වන බව තරුණයෝ පවසති

උතුරේ පොලිස් ස්ථානවල සේවය කිරීම සඳහා දෙමළ පොලිස් නිලධාරීන් දහසක් බඳවා ගැනීම පිණිස අදාල සම්මුඛ පරීක්ෂණ යාපනය සහ වවුනියාවේදී ආරම්භ කෙරිණ.

උතුරේ බහුතරයක් දෙමළ වැසියන්ට සිංහල භාෂාව පිළිබඳව පවතින්නේ අල්ප දැණුමක් බැවින් උතුරේ සිවිල් පරිපාලන කටයුතු විධිමත් වීමෙන් පසුව දෙමළ ජනතාවට යහපත් පොලිස් සේවාවක් ලබාදීම පිණිස දෙමළ පොලිස් නිලධාරීන් පිරිසක් බඳවා ගනු ලබන බව වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ පැවසීය.

Image copyright Dinasena Ratugamage

උතුරේ පොලිස් ස්ථාන වෙත පැමිණෙන දෙමළ වැසියන්ට සිංහල භාෂාව පිළිබඳ අවබෝධයක් නොමැතිවීමත්, පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂාව පිළිබදව දැණුමක් නොමැතිවීමත් නිසා පොලීසි වෙත පැමිණෙන සාමාන්‍ය දෙමළ ජනතාවට ඉතා අසීරු තත්ත්වයකට මුහුණපෑමට සිදුවන බව සඳහන් කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, එම අසීරුතාවයන් අවම කරගැනීම පිණිස පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරණ බවත් සඳහන් කළේය.

අලුතින් බඳවා ගනු ලබන දෙමළ පොලිස් නිලධාරීන් උතුරු පළාත තුළ සේවයේ යොදවන අතර, එම පළාත්වල සේවය කරණ සිංහල පොලිස් නිලධාරීන්ට දෙමළ භාෂා පුහුණු පන්ති පවත්වන බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

පොලිස් සේවයට එක්වීම පිණිස වවුනියාව ගාමිණී මහා විද්‍යාලයේ පැවති බඳවා ගැනීමේ පරීක්ෂණ වලට පැමිණි දෙමළ තරුණයින් කියා සිටියේ පොලිස් සේවයට එක්වී තම පළාත්වල ජනතාවට සේවාවක් ලබාදීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය ඉතා සතුටෙන් ඉටුකිරීමට බලාපොරොත්තු වන බවයි.

Image copyright Dinasena Rathugamage
Image caption වවුනියාව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත වික්‍රමසිංහ

බඳවා ගැනීමේ පරීක්ෂණ වලට සහභාගි වූ තරුණයින්ට සම්මුඛ පරීක්ෂණයේදීම එහි ප්‍රතිඵල දැණුම්දී තිබීම විශේෂ සිද්ධියකි.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර