වෙලේසුදාට මරණීය දණ්ඩනය

මත් ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බවට එල්ල වී තිබුණ චෝදනා වලට වරදකරු බවට අධිකරණය විසින් තීන්දු කිරීමෙන් අනතුරුව ගම්පළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදාට අද (14) මරණීය දණ්ඩනය නියම කෙරුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේ චුදිතයා හෙරොයින් ජාවාරමේ නිරත වූ බවට ඉදිරිපත්ව තිබුණ චෝදනාවලට වරදකරු වන බවයි.

විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිලි පාර්ශවය විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇති බවයි කොළඹ මහාධිකරණ විනිසකරුගේ තීන්දුව වුණේ.

පිල්ලෙයාන්

Image copyright b

මේ අතර නැගෙනහිර පළාතේ හිටපු මහ ඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.

දෙමළ ජාතික සන්ධානයේ මඩකළපුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනය කිරීම සම්බන්ධයෙනුයි හිටපු මහ ඇමතිවරයා අත් අඩන්ගුවට ගනු ලැබුණේ.

හිටපු මහඇමති ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් නොවැම්බර් මස 04 වන දින දක්වා තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අධිකරණයෙන් අවසර දුන් බවයි කේ.එස්.උදයකුමාර් වාර්තා කරන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 නත්තල් උත්සවයට සහභාගී වෙමින් සිටියදීයි දේවස්ථානයක් තුළ වෙඩි තබා මරා දමනු ලැබුණේ.