දනුන තිලකරත්න නිදහස්

හයිකොප් සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි දනුන තිලකරත්නට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදහස් කෙරේ.

යුද හමුදාවට ආම්පන්න සැපයීමේදී අක්‍රමිකතා සිදු කල බවට චෝදනා කරමින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාගේ බෑනා වන දනුන තිලකරත්නට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද, බ්‍රහස්පතින්දා නියම කළේය.

හයිකොප්

හයිකොප් සමාගම වෙනුවෙන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කරමින් යුද හමුදාවට පාඩු සිදු කළ බවටයි නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කොට තිබුණේ.

අදාළ නඩුව අද, බ්‍රහස්පතින්දා කැඳවූ අවස්ථාවේ දී රජයේ නීතිවේදියා කියා සිටියේ මෙම නඩුවේ සාක්කි විභාගය අවසන් කරන බවයි.

එම අවස්ථාවේ කරුණු දැක්වූ විත්තියේ නීතිවේදීන් පෙන්වා දුන්නේ මෙම ගනුදෙනුවේ මිල ගණන් කැඳවීමේ ක්‍රියාවලියට විත්තිකාර දනුන තිලකරත්න සම්බන්ධ නොමැති බවට යුද හමුදා සාක්ෂිකරුවන් මිට පෙර සාක්‍ෂි දී තිබු බවයි.

මේ හේතුවෙන් විත්තිකරුට එරහිව අදාළ චෝදනා පවත්වා ගෙන යාමට නොහැකි බැවින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙසයි විත්තියේ නීතිවේදීන් ඉල්ලා සිටියේ.

එම කරුණු පිළිගත් මහාධිකරණය විසින් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට නියෝග කෙරිණ.

අභූත චෝදනා

තීන්දුවෙන් පසුව මාධ්‍ය වලට අදහස් පල කළ දනුන තිලකරත්න කියා සිටියේ පසුගිය රජය දේශපාලන පලිගැනීමක් වශයෙන් මෙම අභූත චෝදනාව තමන් වෙත එල්ල කළ බවයි.

ඊට දායකවූ පුද්ගලයන්ට එරෙහිව අලාබ ඉල්ලා නීති ක්‍රියා මාර්ග ගැනීම කෙරෙහි සිය අවධානය යොමුව ඇති බවද ඔහු තවදුරටත් ප්‍රකාශ කළේය.