“දෛනික ධීවර කටයුතු විධිමත් කළ යුතුයි ”

උතුරේ ධීවර ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ප්‍රශ්න හා ගැටලු සාකච්ඡා කොට ඊට රජයෙන් ලබාගත යුතු විසඳුම් පිළිබඳ යෝජනාවලියක් සකස් කෙරේ.

මේ පිළිබඳ උතුරේ එක්සත් ධීවර සමීති සන්ධානය කැඳවු සාකච්ඡාවක් අද, බ්‍රහස්පතින්දා වවුනියාවේ දී පැවැත්විණ.

එම සාකච්ඡාවට දකුණේ ධීවර සමීති නායකයන් කීපදෙනෙකුගේද සහය පල විය.

ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ ජාතික සංවිධායක හර්මන් කුමාර කියා සිටියේ ඉන්දීය ධීවරයන් උතුරු මුහුදු සීමාවට පැමිණීම පමණක්ම උතුරේ ධීවරයින්ගේ මූලික ප්‍රශ්නය නොවන බවයි.

යුද්ධය හමාර වී වසර හයකට වඩා ගතවී ඇතත් උතුරේ ධීවරයන්ගේ එදිනෙදා ධීවර කටයුතු විධිමත් කිරීමට රජය පියවර ගෙන නොමැති බවද ඔහු කියා සිටියේය.

යුද සමයේදී උතුරේ ධීවරයන්ගේ විනාශවූ නිවාස වෙනුවට නව නිවාස ලබාදීම, මිය ගිය ධීවරයන්ට වන්දි ගෙවීම, විනාශ වූ ධීවර ආම්පන්න වෙනුවට අලුතින් ආම්පන්න ලබා දීම වැනි දේ මේ වනතුරුත් සිදුව නැති බව ධීවර සමීති නායකයා පෙන්වා දුන්නේය.

ධීවර සහයෝගිතා ව්‍යාපාරයේ උතුරු නැගෙනහිර සම්බන්ධීකාරක ඇන්ටන් ජේසුදාසන් කියා සිටියේ උතුරේ ධීවරයන්ට මුහුණ දීමට සිදුව ඇති මෙම ගැටලු හා ප්‍රශ්න වැඩමුළුවක් ආකාරයෙන් පැවත්වූ මේ සාකච්ඡාවේ දී ගොණු කොට එම ප්‍රශ්නවලට රජයෙන් විසඳුම් ලබා ගත හැකි සැලැස්මක් සකස් කළ බවයි.

එම සැලැස්ම රජයට ඉදිරිපත් කිරීම සඳහා උතුරු පළාතේ මන්ත්‍රීවරුන් ඇතුළු දේශපාලන අධිකාරියට බාර දෙන බවයි ඔහු කියා සිටියේ.

ඔවුන්ට එය ඉටු කිරීමට නොහැකි වුවහොත් උතුරු නැගෙනහිර ධීවර ප්‍රජාවගේ සහභාගිත්වයෙන් රජයට එරෙහිව නිහඩ විරෝධතාවක් දියත් කොට තම ඉල්ලීම් වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.