ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"ජනපති කොමිසම වලංගු නැහැ" මහින්දගෙන් විරෝධය

බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ සංයුතිය නීති විරෝධී බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියා කොමිසම හමුවේ කියා සිටියි.

ඒ බව පෙන්වා දෙමින් නීතිවේදී ගාමිණී මාරපන නැගූ මූලික විරෝධතාවයක් හේතුවෙන් බරපතළ වංචා විමර්ශන ජනාධිපති කොමිසමේ වැඩ අද, බ්‍රහස්පතින්දා දින අත් හිටුවීමට කොමිසම විසින් තීරණය කෙරිණ.

බලයක් නෑ

මහාධිකරණ විනිසුරුවරුන් බරපතළ වංචා විමර්ශන ජනපති කොමිසමට පත් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව පවසමිනුයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නීතිවේදී ගාමිණී මාරපන මුලික විරෝධතාවය ගොනු කලේ.

එම විරෝධතාවය සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ලබා දෙන බවයි කොමිසම දවසේ කටයුතු අත්හිටුවමින් පැවසුවේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කොමිසම හමුවේ පෙනී සිටියහ.

ඔවුන් කැඳවා තිබෙන්නේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වූ හිටපු ජනාධිපතිවරයාගේ දැන්වීම් සඳහා අය විය යුතු රුපියල් මිලියන 200 කට අධික මුදලක් නොගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කෙරෙන සාක්ෂි විමසීම සඳහා යි.

දේශපාලන පලිගැනීමක්

හිටපු ජනාධිපතිවරයාගේ අද දිනයේ කිසිදු සාක්ෂි විමසීමක් සිදු නොවූ අතර ඔහු මාධ්‍යයට අදහස් දක්වමින් පැවසුවේ මෙය දේශපාලන පලිගැනීමක් බවයි.

තමන් පක්ෂයේ අපේක්ෂකයා නිසා ස්වාධීන රූපවාහිනියට මුදල් ගෙවිය යුත්තේ පක්ෂය විසින් බවයි හිටපු ජනාධිපතිවරයා පැවසුවේ.