බන්ධනාගාරවල දේශපාලන සිරකරුවන් නෑ - රජය පවසයි

ශ්‍රී ලංකාවේ කිසිදු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවන් නොමැති බව රජය ප්‍රකාශ කරයි.

මේ දිනවල උපවාසයේ යෙදෙන දෙමළ සිරකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් බවත් ඔවුන්ගේ නායකයන්ට නිදහස ලබා දී තිබිය දී ඔවුන් ගැන ක්‍රියාමාර්ගයක් නොගැනීම ඔවුන්ට සිදුවූ අසාධාරණයක් ලෙස තමන් පිළිගන්නා බවත් රජය කියා සිටී.

රජයේ ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න අද කැබිනට් තීරණ දැනුම් දෙමිනුයි එසේ ප්‍රකාශ කළේ.

එකඟත්වයක් නෑ

මේ අතර උපවාසයේ යෙදෙන සිරකරුවන් සමග අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද උදෑසන සාකච්ඡා පැවැත්වූ නමුත් උපවාසය අත්හිටුවීමට එහිදී එකඟත්වයක් පලවී නැත.

එල්.ටී.ටි.ඊ සංවිධානයේ ක්‍රියාකාරකම්වලට සම්බන්ධව දැනට බන්ධනාගාර ගතව සිටින සියළු සැකකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කිරීමට රජය තීරණය කළ බවයි අමාත්‍ය රාජිත සේනාරත්න පැවසුවේ.

චෝදනා ඇත්තන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමටත්, චෝදනා නොමැති අය නිදහස් කිරීමටත් එමගින් හැකි වන බවයි අමාත්‍යවරයා පැවසුවේ.

" නිදහස් කරන්න කියලා එකපාරට කියන්න බැහැ, චෝදනා ගොනු කරන්න පුළුවන් අයට චෝදනා ගොනු කරන්නත්, චෝදනා ගොනු කරන්න බැරි අය නිදහස් කරන්නත් පුළුවන්"

ශ්‍රී ලංකාවේ කිසිදු බන්ධනාගාරයක දේශපාලන සිරකරුවන් නොමැති බව පැවසූ අමාත්‍යවරයා උපවාසයේ යෙදෙන දෙමළ සිරකරුවන් ත්‍රස්තවාදී සැකකරුවන් ලෙස අත්අඩංගුවට පත්වූවන් බවයි පැවසුවේ.

සාධාරණ විසඳුමක්

කොළඹ මැගසින් බන්ධනාගාරයේ උපවාසයේ යෙදෙන සැකකරුවන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසුවේ මේ වසර අවසානය විට ඔවුන්ට සාධාරණ විසඳුමක් ලබා දෙන බව පවසා උපවාසය අවසන් කරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටි බවයි.

අධිකරණ අමාත්‍යවරයා හා සිරකරුවන් මුණ ගැසුණු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් සුමන්දිරන් පැවසුවේ රජය ලබාදුන් විසඳුම පිළිගැනීමට උපවාසයේ යෙදෙන සිරකරුවන් සුදානම් නොමැති බවයි.

යුද්ධයේ අවසාන අවදියේ සටන් කළ එල්.ටී.ටි.ඊ සාමාජිකයන් 12,000 ක් පුනරුත්තාපනය කර නිදහස් කල රජය මෙම පිරිස නිදහස් නොකරන්නේ ඇයිද යන්න ප්‍රශ්නයක් බවයි සුමන්දිරන් මන්ත්‍රීවරයා පැවසුවේ

සිරකරුවන්ගේ උපවාසය හතර වැනි දිනටත් අද, බ්‍රහස්පතින්දා ක්‍රියාත්මක වූ අතර ඔවුන්ගෙන් පස් දෙනකුගේ අසාධ්‍ය තත්වය හේතුවෙන් ඔවුන් බන්ධනාගාර රෝහලට ඇතුළත් කොට තිබේ.