රේගුවේ ඉහළ නිලධාරීන් තිදෙනෙක් අල්ලස් දැලේ

Image copyright Reuters

ශ්‍රී ලංකා ඉතිහාසයේ වාර්තා වූ වැඩිම අල්ලස් මුදල ලෙස සැලකෙන රුපියල් කෝටි දොළහ හමාරක පමණ අල්ලසක් ලබා ගැනීමට තැත් කළ බව කියන රේගු නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

විදේශීය සමාගමකින් ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහා ආනයනය ලද අමතර කොටස් විශාල තොගයක් මුදාහැරීමට අදාළවයි අල්ලස් ලබා ගැනීමේ සැලැස්ම ක්‍රියාවට නංවනු ලැබ තිබෙන්නේ.

දැනට ලැබෙමින් ඇති වාර්තා වලට අනුව, එකී අල්ලස අද(15) කොළඹ ගිවිස ගත් ස්ථානයක දී ලබා දෙන බවක් අඟවමින් එක් පාර්ශ්වයක් අල්ලස් සහ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඒ ගැන දැනුම් දී ඇත.

Image copyright AFP Getty Images

අනතුරුව එහි නිලධාරීන් නියමිත ස්ථානයට ගොස් රේගු නිලධාරීන් තිදෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි අල්ලස් කොමිසමට සම්බන්ධ ආරංචි මාර්ග වලින් පැවසන්නේ.

මේ සම්බන්ධයෙන් රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණීගෙන් බීබීසී සන්දේශය විමසීමක් කළ විට ඔහු කියා සිටියේ, මාධ්‍ය ඔස්සේ එවැනි පුවතක් පිළිබඳව තොරතුරු පළ වෙමින් ඇතත් තමාට ඒ සම්බන්ධයෙන් දැනට කිසිවක් කිව නොහැකි බවයි.