අල්ලස් පැමිණිලි කරන්න - කොමසාරිස්වරිය

මහා පරිමාණ අල්ලස් ගනු දෙනු පිළිබඳව පැමිණිලි කිරීමට ඉදිරිපත් වන්නැයි අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි වික්‍රමසිංහ ඉල්ලා සිටියි.

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ මාධ්‍යවලට අදහස් පලකරමිනුයි ඇය මේ බව කියා සිටියේ.

ව්‍යාපාරිකයකු නොබියව පැමිණිලි ඉදිරිපත් කිරීම නිසා ලංකා ඉතිහාසයේ වාර්තාවූ වැඩිම අල්ලස් මුදල ලබා ගැනීමේ දී රේගු නිලධාරීන් තුන් දෙනෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව ඇය ප්‍රකාශ කළාය.

රුපියල් මිලියන 125

රුපියල් මිලියන 125 ක් අල්ලස් වශයෙන් ලබා ගනිද්දී අත් අඩංගුවට ගත් සජීව පරාක්‍රම දිසානායක සහ ජගත් ගුණතිලක යන රේගු අධිකාරිවරුන් සහ සහකාර රේගු අධිකාරී උපාලි පෙරේරා යන සැකකරුවන් ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියම කෙරිණ.

අල්ලස් කොමිසම අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාලව තවත් සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බවයි.

මේ හේතුවෙන් සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන මෙන් අල්ලස් ‍හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ඉල්ලීමක් කළේය.

Image copyright Reuters

මෙහිදී විත්ති පාර්ශවයේ නීතිවේදීන් කියා සිටියේ අල්ලස් කොමිසමේ නිලධාරින් ගිනි අවි පෙන්වා බිය ගන්වා සැකකරුවන් වෙත බලහත්කාරයෙන් මෙම මුදල් පටවා ඇති බවයි.

පරීක්ෂණ අවසන් නොමැති නිසා මෙම අවස්ථාවේ ඇප ඉල්ලීමක් නොකරන බවයි එම නීතිවේදීන් ප්‍රකාශ කළේ.

අනතුරුව අධිකරණය සැකකරුවන් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළේය.