දෙමළ සිරකරුවන්ගෙන් ආණ්ඩුවට අන්තිම කාල නියමයක්

Image copyright Getty
Image caption ශ්‍රී ලංකාවේ සිර ගෙයක අභ්‍යන්තර දර්ශනයක්

අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද දින (17) කළ දැනුම් දීමක් අනුව ‘ආණ්ඩුව පසුගියදා ආහාර වර්ජනයක නිරත වෙමින් සිටි දෙමළ සිරකරුවන්ගේ ගැටළු සම්බන්ධයෙන් යම්කිසි විසඳුම් ක්‍රියාමාර්ගයක් මේ මාසයේ තිස් එක්වෙනි දිනට පෙර ආරම්භ කොට එය එතැන් පටන් ලබන මස හත් වෙනි දින අතර කාලය තුල ක්‍රියාවට නංවන බව’ තමා එම සිරකරුවන්ට දැනුම් දුන් බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර පවසයි.

බීබීසී සංදේශය සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී බන්ධනාගාර කොමසාරිස්වරයා කියා සිටියේ, තමා අධිකරණ ඇමතිවරයාගේ පණිවුඩය මැගසින් බන්ධනාගාරයට ගොස් දෙමළ සිරකරුවන්ට දැනුම් දුන් බවයි.

‘අධිකරණ ඇමතිතුමා මට අද උදෑසන කතා කරලා කිව්වා - ජනාධිපතිතුමාගේ නිල පණිවුඩයක් දෙමළ සිරකරුවන්ට දැනුම් දෙන ලෙස. ඒ අනුව මම අද මැගසින් බන්ධනාගාරයට ගොස් එම දැනුම් දීම කළා’ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර සඳහන් කළේය.

Image copyright AjithLal ShanthaUdaya
Image caption බන්ධනාගාර කොමසාරිස්වරයා කුරුවිට සිරගෙදර සංචාරයක

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්.ඒ.සුමන්තිරන් සහ අඩයික්කලනාදන් ද එම අවස්ථාවට සහභාගී වූ බවයි කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ.

විපක්ෂ නායක

එම අවස්ථාවේ ප්‍රකාශයක් කළ විපක්ෂ නායක ආර්.සම්බන්ධන් ‘ඔහු ජනාධිපතිවරයා සමඟ මෙම ප්‍රශ්නය ගැන සාකච්ඡා කළ අතර ජනාධිපතිවරයාගෙන් ශුභවාදී ප්‍රතිචාරයක් ලැබී ඇති බව’ රැඳවියන්ට දැනුම් දුන් බවයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් රෝහණ පුෂ්පකුමාර වැඩිදුරටත් කියා සිටියේ.

ජනාධිපතිවරයා කෙරෙහි විශ්වාසය තැබිය හැකි හෙයින් මෙම සිරකරුවන්ගේ ගැටළු හඳුනා ගනිමින් ඒ සඳහා ජනාධිපතිවරයා විසඳුමක් දෙන බවට තමා තුළ විශ්වාසයක් ඇති බවයි විපක්ෂ නායකයා ප්‍රකාශ කර තිබෙන්නේ.

සිරකරු ප්‍රතිචාරය

විපක්ෂ නායකයාගේ කතාවට සවන් දුන් සිරකරුවන් ‘ජනාධිපතිවරයාගේ එම වචන විශ්වාස කරමින් තමන් ගෙන ගිය ආහාර වර්ජනය නතර කරන බව’ ප්‍රකාශ කළ බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා බීබීසියට ප්‍රකාශ කළේය.

Image copyright b
Image caption වැලිකඩ සිර ගෙදරින් සිරකරුවන් මුදා හරින ලද අවස්ථාවක්

ඒ අනුව විපක්ෂ නායකතුමා අතින්ම බීම වීදුරුවක් පානය කරමින් සිරකරුවන් ආහාර වර්ජනය නිම කළ අතර මැගසින් බන්ධනාගාරයේ දී ගනු ලැබුණ එම පියවර සෙසු බන්ධනාගාර වලටත් දැනුම් දුන් බවයි කොමසාරිස්වරයා කියා සිටියේ.

ජනාධිපතිවරයා වෙත යොමු කිරීම සඳහා සිරකරුවන් තමාට ලිපියක් භාර දුන් බවත් ඔහු පවසයි.

සිය ගැටලුවලට විසඳුමක් දීම සඳහා නොවැම්බර් මස හත් වෙනි දින තෙක් කාලය ලබා දෙන බව දැනුම් දුන් සිරකරුවන් එය ඉටු නොවුනොත් නැවත සිය ආහාර වර්ජන විරෝධතා ව්‍යාපාරය ආරම්භ කරන බව කියා සිටි බවත් බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කළේය.