විසඳුම් ලැබ නැති සැබෑ අවතැන්වූවෝ

ලංකාව තුළ වසරක් තුළදී ගංවතුරින්, නායයෑම්වලින්, අලි ප්‍රහාර යනාදීයෙන් අවතැන්වන්නන් හැරුණු කොට යුද්ධයෙන් අවතැන්වූවන් අතීතයට එක් වී අවසන් යැයි ඇතැමෙකුට සිතෙන්නට පුළුවන.

නමුත් එය එසේ නොවන්නේ සැබෑ අවතැන්වූවන් හඳුනා ගත හැකි වන්නේ දැන් නිසාවෙනි.

කථිකාව අදාල වන්නේ යාපනය දිස්ත්‍රික්කයේ අවතැන් කඳවුරු තුනක් සම්බන්ධයෙනි. ඔවුන්ගේ දුක දිනකින් හෝ දෙකකින් අසා නිම කළ නොහැක.

අවතැන් වීමේ ඛේදවාචකය යුද්ධයෙන් බැට කෑ තරම්ම දරුණු වන්නේ යැයි මේ කඳවුරු තුනේ මව්පියවරුන්ගේත් දරුවන්ගේත් අප ඇස ගැසුණ දසුන් පෙන්වා දෙයි.

ඒ කෝනප්පලම්, චුන්නාකම් සහ චුන්නාකම් සභාපතිපිල්ලෙයි අවතැන් ගම්මාන තුන එවකට කඳවුරු තුනයි. කඳවුරු තුනෙහි පවුල් ආසන්න වශයෙන් 250කි. දරුවන් ගණන 500 ඉක්මවා ඇත.

පාසල් යන වයසේ දරු දැරියන්ට සිය අධ්‍යාපනය සම්බන්ධයෙන් සංකීර්ණ ගැටලු නොතිබුණද සෞඛ්‍ය යනු සියල්ලන්ට පොදුවේ මුහුණ දීමට සිදුව ඇති ගැටලුවකි.

සභාපති පිල්ලෙයි ගම්මානයේ සභාපතිවරයාගේ අදහස ඉතා පැහැදිලිය.

"ජලය තමයි ප්‍රධාන ගැටලුව. අපට එය ඉතා අමාරු තත්ත්වයක් ඇති කර තිබෙනවා. දරුවන්ගේ වගෙම වැඩිහිටියන්ගේ සෞඛ්‍යයට එය තර්ජනයක්. අපිත් කැමතියි නිරෝගීව ජීවත් වීමට. මැතිවරණ කාලෙදි දේශපාලඥයින් තහඩු බෙදා දී යනවා. ජීවන වෘත්තීන් සම්බන්ධයෙන් ගැටලුව ඉතාම විශාලයි. ඒ වෙනුවෙන් අපි නොසෑහෙන්න වෙහෙසෙනවා. "

අවතැන් වීම යනු නිශ්චිත තැනක් නොමැතිව දුක් විඳීමටය. මිනිසුන් අවතැන් වන්නේ එක එක විදිහටය. එකී ඕනෑම ආකාරයකට අවතැන්වූවන් කිසිවෙකු තවෙකෙකු අවතැන් වීමට ප්‍රාර්ථනා නොකරන බව නම් සහතිකය. මන්ද අවතැන් වීමේ දුක එපමණටම ඔවුන් දන්නා නිසාය.

සභාපතිපිල්ලෙයි ගමට ඇතුළු වන එක් පටුමගක් ආරම්භයේ දකින්නට ලැබෙන ජල ටැංකි දෙක මෙකී මිනිසුන්ගේ ජීවිතය කියා පාන එක් ප්‍රධාන සාක්ෂියකි.

විටින් විට එතැනට විත් කුඩා ජල කෑන් පුරවා ගෙන යන මිනිසුන්ගේ ජීවිතය බඩගින්න හා පිපාසය නිවා ගන්නට පමණක් ගෙන යන ජීවිතයක් හෝ නැතිනම් බඩගින්නත් පිපාසයත් පමණක් නිවා ගනිමින් ගෙන යන ජීවිතයක් වන්නේය.

ගම් සභාපතිවරයාගේ දියණියත් අනෙක් බොහෝ ළමයිනුත් ඉගෙනීමට ඉතා දක්ෂය. පාසල් ඇරෙන මොහොතේදී රෑන පිටින් එක වගේ බෑග් මලු එල්ලා ගෙන පාර දිගේ එන දරුවෝ කාෂ්ඨක වූ අව්වට දොස් නොනගති. නමුත්, ළදරු වයසේ දරුවන්ගේ තත්ත්වය එය නොවේ. ඔවුන් සියල්ලන්ම පෙර කතා කරගත්තාක් මෙන් විලි වසා සිටින්නේ සිරුරින් අඩක් පමණය. උඩු කය හෝ යටි කය, මේ දෙකින් එකක් ඔවුන්ගේ නිරුවත්ය.

බොහෝ කුඩා දරුවෝ දුහුවිල්ලටම හුරු වී සිටිති. මෙය දරුවන් සම්බන්ධයෙන් කිසිසේත්ම හොඳ තත්ත්වයක් හෝ රටේ පොදු තත්ත්වයක් යැයි කිව නොහැකිය.

දැන් ඔවුන්ගේ ජීවිත අවට කිසිවෙකුගේ රැකවල් නැත. ඔවුන් මුවින් කී කතාවට වඩා අපට වැදගත් වූයේ ඔවුන්ගේ හැබෑ දසුනයි.

කෝනප්පලම්- මල්ලාකම් හි සභාපතිවරයා වන සුන්දර් තවත් විශේෂ හෙළිදරව්වක් කළේ අවතැන් දරුවන් පිළිබඳ තවත් අනුවේදනීය තත්ත්වයක් සාකච්ඡාවට යොමු කරමිනි.

"කෝනප්පලම් හි අවතැන් පවුල් 200 ඉක්මවා සිටිනවා. යුද්ධය සම්බන්ධයෙන් ඇතැම් සිදුවීම් අපට අනුවේදනීයයි. නමුත් දැන් අපි කතා කරන්නේ එතැනින් එහා ජීවිතයයි. අපි ඉස්සරහට යන්න ඕනෑ. මේ ගමේ මව හෝ පියා දෙදෙනාගෙන් එක් අයකුගේ රැකවරණය නැති දරුවන් 100ක් පමණ සිටිනවා. මට ඔවුන් එකින් එක්කෙනා රැගෙන පෙන්වන්නට පුළුවන්. අම්මා ඉන්නවා නම් තාත්තා නෑ. තාත්තා ඉන්නවා නම් අම්මා නෑ. ඒ හැම දරුවෙක්ම දවසට දෙවේලක් පමණයි ආහාර ගන්නේ. මව හෝ පියා රැකියාවට යනවා. එවැනි දරුවන් පාසල් යන්නේ නැහැ."

ඒ සුන්දර්ගේ හෙළිදරව්වයි. අවතැන් කඳවුරු ඉවත් කළාය කීවාට එවැනි යමක් සිදු වී නැත. අවතැන් කඳවුරුවලින් නික්මී බොහෝ දෙනෙකු පිට වී ගොස්, පිටව යා හැකි තැනක් නැති සැබෑ අවතැන්වූවන් දැන් එහි ඉතිරි වී ඇත.

අවතැන් ගම්මාන සභාපතිවරුන්ගේ අත ඕනෑම විටෙක ඇත්තේ සිය ගමේ සාමාජිකයින්ගේ නාම ලේඛනයි. ඔවුන්ට ලැබිය යුතු දේ ලැබෙන දේ සම්බන්ධයෙන් ඔවුන්ම සැම විටම සොයා බැලිය යුතුය. මන්ද සභාපතිවරුන්ද අවතැන්වූවන් වන නිසාය.

බොහෝ දෙනෙකු තවමත් ජීවත් වන්නේ කොන්ද නමා ඇතුළු විය යුතු දොරවල් සහිත කුකුළු කූඩු වැනි නිවෙස්වලය. ඇතැම් නිවෙස්වල පවුල් දෙක හෝ තුනක සාමාජිකයෝ සිටිති. ඔවුන්ගේ දරුවෝ සිටිති.

ඔවුන්ට වගා කිරීමට ඉඩම් නැත. කුඩා කඩ හිමිකරුවන් සිටියද ඒවා කඩ වශයෙන් හැඳින්විය හැක්කේ අවතැන්වූවන් වෙසෙන ගම්මානයකදී පමණි.

යුද්ධය ඔවුනට පවුලේ සාමාජිකයින් අහිමි කළ වග පෙන්වන ඡායාරූප බොහෝ නිවෙස් ඉදිරියේ රාමු කර එල්ලා ඇත. ඒ සමගම හිල් වහල මත ඇතිරූ ඉටි කොළ, ජනෙල් පියන් කියන්නේද ඔවුන්ට අහිමි ජීවිතයක් පිළිබඳ කතාවකි.

අම්මා හෝ තාත්තා නිවසට එනතුරු බාල සහෝදරයා හෝ සහෝදරිය සිය ඇකයේ හොවා ගෙන බලා ගන්නා කුඩා දැරියන් අපට හමු විය; යුද්ධයේ කම්පනයට මසකට දෙවරක් ප්‍රචණ්ඩව හැසිරෙන ගැහැනු දරුවන් අපට හමු විය.

අවතැන්වූවන්ගෙන් සියයට 80ක් යහපත් ලෙස ජීවත් වී සියයට 20ක් අවතැන්වූවන් වශයෙන්ම තවදුරටත් දිවි ගෙවීම රටකට, ආණ්ඩුවකට වගේම රටේ අනාගතයටද යහපත් වන්නේ නැත.