සේයා ඝාතනය: රටපුරා පොලිසිවල ළමාරක්ෂක ඒකක

Image copyright Prasad Purnimal Jayamanne
Image caption සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමෙන් අනතුරුව රටපුරා මතුවුනු ආන්දෝලනය හමුවේ කැබිනට් අනු කමිටුවක් පත්කෙරින

ළමා අපචාරවලට වැට බැඳීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ සෑම පොලිස් ස්ථානයකම විශේෂ ළමා ආරක්ෂක ඒකකයක් පිහිටුවීමට තීරණය කළ බව ආණ්ඩුව පවසයි.

පස් හැවිරිදි සේයා සදෙව්මි දැරිය දූෂණය කර මරා දැමීමෙන් අනතුරුව රටපුරා මතුවුනු ආන්දෝලනය හමුවේ පත් කරන ලද කැබිනට් අනු කමිටුව එම තීන්දුවට එළඹුණු බවයි අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ බීබීසී සංදේශයට කියා සිටියේ.

නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන එම කැබිනට් අනුකමිටුවේ සභාපතිවරයායි.

එම විශේෂ පොලිස් ඒකකවලට පොලිස් නිලධාරීන් අනුයුක්ත කර, එම නිලධාරීන්ට ලැබෙන තොරතුරු රැස්කිරීම පිණිස පොලිසිය තුල මධ්‍යම ඒකකයක් පිහිටුවීම අමාත්‍ය අනුකමිටුව එකඟ වී තිබෙන නව වැඩපිළිවෙලයි.

නව පනතක්

"වෙන ඒකකයක් යටතේ ළමයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ වැඩපිළිවෙලක් දියත් කරන්නත් අපි දැන් තීරණයක් අරගෙන තියෙනවා," අමාත්‍ය විජේදාස රාජපක්ෂ සඳහන් කළේ බීබීසී සංදේශයේ සරෝජ් පතිරණ සමඟ සාකච්ඡාවකට එක්වෙමින්.

එමෙන්ම ළමුන්ගේ අධිකරණමය අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නව පනතට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙන බවත් අමාත්‍යවරයා සංදේශයට පැවසීය.

Image caption දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනයට බාධා නොවන ආකාරයෙන්, 'නිසි ගෞරවය සහ නිසි රැකවරණය ලබාදෙමින් අධිකරණ කටයුතු කිරීමේ ක්‍රමවේදය තමයි මේ නීතිය මගින් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ'

හිංසනයට ලක්වූ දරුවකු හෝ සාක්ෂිකරුවකු ලෙසින් දරුවකු අධිකරණයේ පෙනී සිටින අවස්තාවක එම දරුවන්ගේ මානසික තත්වය සුරැකෙන ලෙසින් අධිකරණ කටයුතු පවත්වාගෙන යාම නව ක්‍රමවේදයේ අරමුණ බවත් අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

"එම දරුවන්ගේ මානසික තත්වයට ඇතිවන පීඩන අවම කරගනිමින් ඒවගේම එම දරුවන්ගේ පෞරුෂත්ව වර්ධනයට බාධා නොවන ආකාරයෙන්, නිසි ගෞරවය සහ නිසි රැකවරණය ලබාදෙමින් අධිකරණ කටයුතු කිරීමේ ක්‍රමවේදය තමයි මේ නීතිය මගින් අපි හඳුන්වා දෙන්න බලාපොරොත්තු වෙන්නේ."

දරුවන්ට අදාළ අධිකරණ කටයුතු වෙනුවෙන් විශේෂ අධිකරණ පිහිටුවීමේ සැලසුමක් නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

"මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සෑම අධිකරණයක්ම ළමුන් කෙරෙහි දක්වන ආකල්ප සම්පූර්ණයෙන් වෙනස් කරලා, ඒ අයිතිවාසිකම් ආරක්ෂා වෙන ආකාරයට කටයුතු කිරීමේ වගකීම හැම අධිකරණයකටම පැවරීම," අමාත්‍ය විජේදාස රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර