ආගමේ නාමයෙන් 'ප්‍රවේණිදාස ක්‍රමයකට ඉඩදිය යුතුද?'

Image copyright GETTY
Image caption වැඩවසම් රාජකාරි සේවා 21 වැනි සියවසේ තවමත් ක්‍රියාත්මක වන වහල් ක්‍රමයේ දිගුවක්ද?

ශ්‍රී ලංකාවේ විහාර දේවාලගම් පාලනය කෙරෙන ක්‍රමවේදය අන්ත දූෂිත බව පවසන ප්‍රවීණ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, එය සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය පණහේ දශකයේ පටන් බොහෝ දෙනා පෙන්වා දී තිබෙන බව පවසයි.

විශේෂයෙන්ම ප්‍රධාන පෙළේ බෞද්ධ විහාරස්තාන හා සම්බන්ධ දේවාල පාලනය කිරීම පිණිස ඇතැමුන් ලක්ෂ ගණනින් වියදම් කරන්නේ මන්දැයි ඔහු ප්‍රශ්න කරයි.

"ඒ කියන්නේ ඡන්දදායකයකුට ලක්ෂ දහයක් විතර සල්ලි දීලනේ ඡන්ද ගන්නේ. ඒක අන්ත දූෂිත විදියට මේවා පාලනය වෙන්නේ," ඔහු පැවසුවේ විහාර දේවාලගම් පණත සංශෝධනය කිරීමේදී සිය අදහස්ද විමසන මෙන් සමස්ත ලංකා ඓතිහාසික දේවාල පාරම්පාරික නිලධාරීන්ගේ සංගමය ආණ්ඩුවෙන් කළ ඉල්ලීම පිළිබඳව බීබීසී සංදේශය සමඟ අදහස් දක්වමින්.

පණත සංශෝධනය කළහොත් පාරම්පරික දේවාල ක්‍රමය නැතිව යනු ඇති බවට සංගමය කරන ප්‍රකාශය පිළිගත නොහැකි බව පවසන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන්, එය සංශෝධනය කිරීම අත්‍යවශ්‍ය කරුණක් බව අවධාරණය කරයි.

Image copyright AFP
Image caption 'ඡන්දදායකයකුට ලක්ෂ දහයක් විතර සල්ලි දීලනේ ඡන්ද ගන්නේ. ඒක අන්ත දූෂිත විදියට මේවා පාලනය වෙන්නේ'

"ඇයි කල්පනා කරන්න දේශපාලකයෝ මෙච්චර උනන්දුවක් දක්වන්නේ තමන්ගේ දරුවෝ දේවාලවල ප්‍රධානීන් බවට පත් කරන්න?. ඒ ලැබෙන ආදායම් අතිවිශාලයි. ඒවායේ කෙරෙන ගසාකෑමුත් අතිවිශාලයි," ඔහු පැවසුවේ සංදේශයේ සරෝජ් පතිරණ සමග සාකච්ඡාවකට එක්වෙමින්.

විහාර දේවාලගම් සම්බන්ධයෙන් විමසීම පිණිස පණහේ දශකයේදී පත්කරන ලද කොමිෂන් සභාව පෙන්වා දුන් පරිදි විහාර දේවාලගම්වල ඉඩම් භුක්තිය සහ එම ඉඩම්වල පවතින වැඩවසම් රාජකාරි සේවාවන් සංශෝධනය කිරීමේ අවශ්‍යතාවය ඔහු අවධාරණය කරයි.

විහාර දේවාලගම්වල වැඩවසම් පංගු ක්‍රමයට තිබෙන ඉඩම් විශාල වශයෙන් කැබලි වී ඇති හෙයින් එම ඉඩම්වල ජීවත්වීමට අපහසු තත්වයක් ඇති වී තිබෙන බව පෙන්වාදෙන රාවය පුවත්පතේ නිර්මාතෘවරයා, ඒ ඉඩම්වල ජීවත් වන ජනතාවට ඉඩම් භුක්තිය වෙනුවෙන් ප්‍රවේනි දාස සේවාවන් සැපයීමට බල කෙරෙන බවත් සඳහන් කරයි.

මෙවැනි දාස සේවාවන් පවත්වාගෙන යාමට ආගමේ නාමයෙන් රටක් ඉඩදිය යුතුදැයි කොමිෂන් සභාව මීට දශක ගණනාවකට ඉහතදීම ප්‍රශ්නකර තිබෙන බව ඔහු පවසයි.

Image copyright Victor Ivan
Image caption 'විහාර දේවාලගම්වලට අයත් ඉඩම්වල ප්‍රවේනි දාසයන් වශයෙන් ජීවත් වෙමින් සේවාවන් සපයන ශ්‍රී ලාංකීය ජනතාව ලක්ෂ තුනකට අඩු නෑ'

මේ වන විටත් විහාර දේවාලගම්වලට අයත් ඉඩම්වල ප්‍රවේනි දාසයන් වශයෙන් සේවාවන් සපයන ශ්‍රී ලාංකීය ජනතාව ලක්ෂ තුනකට අඩු නොවන බව පවසන මාධ්‍යවේදී වික්ටර් අයිවන්, තවමත් විහාර සහ දේවාලවලට අයත් ශ්‍රී ලංකාවේ අක්කර දස දහස් ගණනක් විහාර දේවාලගම් පනත යටතේ අන්සතු කළ නොහැකි බව පෙන්වාදෙයි.

මෙම සේවාවන් ලබා ගැනීම පිණිස නවීන ආකාරයට වැටුප් ක්‍රමයක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ මන්ද යන්න අදාළ කොමිෂන් සභාව මතුකර තිබෙන ප්‍රශ්නයක්.

එක්දහස් නමසිය හැත්තෑව දශකයේ සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වා දුන් ඉඩම් සීමා නීතිය පවා විහාර සහ දේවාල යටතේ පවතින ඉඩම් වලට බල නොපැවැත්වින.

Image caption සමගි පෙරමුණ ආණ්ඩුව හඳුන්වා දුන් ඉඩම් සීමා නීතිය පවා විහාර සහ දේවාල යටතේ පවතින ඉඩම් වලට බල නොපැවැත්වින

කිසි දිනක ජාතිය ගොඩනැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා රාජ්‍යය බැරෑරුම් ලෙස උත්සාහ දරා නොමැති බව පවසන වික්ටර් අයිවන්, තවමත් රටේ පවතින කුල ක්‍රමය සහ වැඩවසම් සේවය එයට උදාහරණ වශයෙන් පෙන්වා දෙයි.

වැඩවසම් සේවා ක්‍රමය අද වන විට මුළුමනින්ම විහාර සහ දේවාල වලට සීමා වී ඇති බව පවසන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා පෙන්වාදෙන පරිදි, මෙතුලින් පිළිබිඹු වන්නේ දේශපාලන නායකයන්ගේ වගකීමෙන් තොර ක්‍රියා කලාපයයි.

උඩරට ගැමි කොමිෂන් සභා වාර්තාව තුලින් ඉදිරිපත් වන සාක්ෂි දෙස බැලූ විට දැඩි කනගාටුවක් දැනෙන බව පවසන ඔහු, දෙවියන්ට බියෙන් ගැති මානසිකත්වයෙන් පසුවන ප්‍රවේනි දාස සේවයේ යෙදෙන ගැමියන් තමන් සිය සේවා ඉටුනොකළහොත් පව් පලදෙනු ඇතැයි විශ්වාස කරන බව වැඩිදුරටත් පැවසීය.

විහාර දේවාලගම් නීතියේ සංශෝධනයක් ඉදිරි සති කිහිපය ඇතුලත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මේ පිළිබඳව බීබීසී සංදේශය කළ විමසීමකදී අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර